ජනපති කොමිසම හමුවේ මත්තල ගැන අගමැති කියූ දේ...

ජනපති කොමිසම හමුවේ මත්තල ගැන අගමැති කියූ දේ...

by Staff writer 23-10-2019 | 8:49 PM

COLOMBO ( News 1st ) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ ය.

ඒ, මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව සාක්ෂි ලබා දීම සඳහා ය. අගමැතිවරයා සාක්ෂි ලබාදීම සඳහා අද පෙරවරු 10.30 ට පමණ ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ ය. 2015 වසරේ යල කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධව කටයුතු කිරීමට පත් කළ කමිටුවක් හරහා මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වී ගබඩා කිරීමට යෝජනා වූ බව ඔහු පෙන්වා දුන්නේ ය. අග්‍රාමාත්‍යවරයා පැවසුවේ වැඩි අස්වනු ප්‍රමාණයක් ලැබීම සහ වී මිල ස්ථාවරව පවත්වාගෙන යාමට ඇති අවශ්‍යතාව හේතුවෙන් මෙලෙස බාහිර ස්ථානවල වී ගබඩා කිරීමට සිදු වූ බව ය. වී මිලදී ගැනීම සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ අග්‍රාමාත්‍ය උපදේශකවරුන් වන චරිත රත්වත්තේ සහ පාස්කර්ලිංගම් යන මහත්වරුන් සාමාජිකත්වය දැරූ අතර එම පත් කිරීම් පිළිබඳව ද ජනාධිපති කොමිසම අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේ ය. ඔහු කියා සිටියේ තමා අදාළ පත්කිරීම් සිදු නොකළ බව ය. ජාත්‍යන්තර ගුවන්තොටුපොළක වී ගබඩා කිරීම එහි කීර්ති නාමයට හානියක් නොවේදැයි, ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රශ්න කළේ ය. එවිට අගමැතිවරයා පැවසූවේ හානියක් වීමටවත්, මත්තල ගුවන් තොටුපළට කිර්තියක් නොතිබූ බව ය. එය හදුන්වන්නේ වර්ල්ඩ්ස් එම්ටියස්ට් එයාර්පෝට් යනුවෙන් යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය. මත්තල ගුවන්තොටුපොළ ගොඩගැනීමට තම රජය උත්සහ කරන බවත්, ඒ සඳහා මේ වන විටත් ඉන්දියාව හා සාකච්ඡා පැවැත්වෙන බවත් ඔහු පැවසු තවත් කරුණකි. වී ගබඩා කිරීම වැනි වත්මන් රජයේ ක්‍රියාවන් තුළින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළකට කීර්තියක් ලඟා කරගත හැකි ද යන්න සහ ගුවන්තොටුපොළ පිළිබඳව රජය අනුගමනය කළ ක්‍රියා පිළිවෙත සභාපති විනිසුරුවරයා මෙහිදී ප්‍රශ්න කළේ ය. අගමැතිවරයා පැවසූවේ ජනාධිපති කොමිසම ඇත්තේ එවැනි කරුණු සොයා බැලීමට නොව, වංචා දූෂණ විමර්ශනය කිරීමට බවයි. මෙහිදී දේශපාලන වාදයක් ඇති කර ගත යුතු නැති බවත්, කොමිසමෙන් ඉවත්ව ගොස්, එවැනි දෑ තමාට පාර්ලිමේන්තුවේදී කතා කළ හැකි බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේ ය. මත්තල වී ගබඩා කිරීම තුළින් රාජ්‍ය දේපළ අවභාවිතයක් වී ඇත්දැයි සභාපති විනිසුරුවරයා ප්‍රශ්න ක‍ළේ ය. අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එහි කිසිදු අවභාවිතයක් සිදු ව නොමැති බව ය. 2014 වසරේදී 2900 කට අධික ගුවන් යානා ප්‍රමාණයක් මත්තලට පැමිණි බව ජනාධිපති කොමිසම පෙන්වා දුන්නේ ය. අගමැතිවරයා කියා සිටියේ එය එසේ සිදු වූයේ මත්තල ගුවන්තොටුපොළටම ගුවන් යානා ගොඩබස්වන ලෙස පැවති රජය කළ බල කිරීම් නිසා බව ය. වී ගබඩා කිරීමට මත්තල හැර වෙනත් ස්ථාන යොදා නොගැනීම වැනි කරුණු පිළිබඳව ද කොමිසම අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර එම කරුණු පිළිබඳව තමා නොදන්නා බවත්, ඒවා විමසිය යුත්තේ අදාළ කමිටුවෙන් බවත් ඔහු පැවසුවේ ය. අග්‍රාමාත්‍ය උපදේශකවරයෙකු වන චරිත රත්වත්තේ මහතා ශ්‍රීලංකන් සභාපති අජිත් ඩයස් මහතාගෙන් කළ ඉල්ලීමක් මත්තල වී ගබඩා කිරීමට තීරණය කිරීම සඳහා හේතු වූවා දැයි මෙහිදී ජනාධිපති කොමිසම අගමැතිවරයාගෙන් විමසා සිටියේ ය. සභාපති විනිසුරුවරයා පැවසුවේ එවැනි සාක්ෂි ද ලැබී ඇති බව ය. සාක්ෂි ලැබී ඇත්නම් ඒවා ලබාදෙන ලෙසත්, අධිකරණයකදී මෙන් සිය නීතීඥවරුන්ට ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් අගමැතිවරයා සඳහන් කළේ ය. වී ගබඩා කිරීම තුළින් ගුවන්තොටුපොළ ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතියට හානි සිදු වී ඇති බව මීට පෙර කොමිසමේ නිලධාරීන්ම තහවුරු කර ගත් කරුණකි. තමා මේ පිළිබඳව සොයා බැලීමේදී එක් වායු සමීකරණ උපකරණ කොටසක් අලුත්වැඩියා කිරීමට රුපියල් 20 000 ක්ද, එය ප්‍රවාහනයට රුපියල් 60 000 ක්ද වැය වී ඇතැයි වාර්තා වූ බව අගමැතිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ පිළිබඳව තමා සොයා බලන බව ය. පැයකට අධික කාලයක් සාක්ෂි දීමෙන් අනතුරුව පෙ.ව 11.45 ට පමණ අගමැතිවරයා කොමිසමෙන් පිටත්ව ගියේ ය.