පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවයි

ජනාධිපතිවරණය අවසන් වන තෙක් සියලු ම පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවයි

by Staff writer 23-10-2019 | 9:43 AM
COLOMBO (News 1st) - ජනාධිපතිවරණය අවසන් වන තෙක් සියලු ම පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවා තිබේ. ජාතික පොලිස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශිත චක්‍රලේඛ විධිවිධාන යටතේ මෙම පියවර ගත් බව ය. කෙසේ වෙතත් සේවා අවශ්‍යතාව මත හා අත්‍යවශ්‍ය කරුණු මත පොලිස්පතිවරයා විසින් යොමු කරන උසස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කර අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසු අදාළ ස්ථාන මාරුවීම් ලබා දෙන බව ද ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ ය. එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, මේ වන විට එවැනි අනුමැතීන්ට යටත්ව ස්ථාන මාරුවීම් 10 ක් පමණ සිදු කර ඇති බව ය. මේ හැර සෙසු කිසිදු ස්ථාන මාරුවීමක් ජනාධිපතිවරණය නිම වන තෙක් සිදු නොකරන බව ද ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කළේ ය.