වාහන ආනයනය කිරීමේ ජාවාරමක තොරතුරු හෙළිවේ

වාහන ආනයනය කිරීමේ ජාවාරමක තොරතුරු හෙළිවේ

by Staff writer 22-10-2019 | 9:19 AM
COLOMBO (News 1st) : අඩු එන්ජින් ධාරිතාව යටතේ වාහන ගෙන්වන මුවාවනේ වැඩි ධාරිතාවකින් යුත් සුඛෝපභෝගී වාහන මෙරටට ආනයනය කිරීමේ ජවාරමක තොරතුරු හෙළිවී තිබේ. 1400 සී සී එන්ජින් ධාරිතාවට අයත් බව පවසමින් 2000 සී සී එන්ජින් ධාරිතාවට අයත් වාහන 13 ක් මෙලෙස අනායනය කර ඇතැයි සඳහන් ය. රජයේ සේවකයින්ට හිමිවන බලපත්‍ර උපයෝගී කරගනිමින් වාහන ආනයනය ආයතනයක් මගින් ඒවා මෙරටට ගෙන්වා ඇති බවට වාර්තා වේ. මේ පිළිබඳව වාහන ආනයනකරුවන්ගේ සංගම් දෙකක් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිත පැමිණිල්ලක් ද යොමු කර තිබේ. නමුත් වාහන ආනයනකරුවන් පවසන්නේ තවමත් මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කර නොමැති බවයි. බෙදාහරින්නන් මෙම සුඛෝපභෝගී වාහන 2000 සීසී එන්ජින් ධාරිතාවට අයත් බව සනාථ කර තිබීයදීත් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මෙරටට 1400 සීසී එන්ජින් ධාරිතාවට යටතේ මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා බදු මුදල් පමණක් රුපියල් ලක්ෂ 55 කට ආසන්න මුදලක් වැය වේ. 2000 සී සී කාණ්ඩය යටතේ රුපියල් එය ලක්ෂ 120 කට අධික වන අතර ඊට සුඛෝපභෝගී වාහන වෙනුවෙන් අය කරන විශේෂ බද්ධ වන ලක්ෂ 35 ක මුදල ද ඇතුළත් විය යුතු වේ. මෙම කූඨ ජවාරම හරහා එක් මෝටර් රථයකින් අහිමි වන බදු මුදල රුපියල් ලක්ෂ 125 කට ආසන්නයි. මේ අනුව මේ වාහන මෙරටට ආනයනය කිරීම හරහා රජයට මිලියන 160 ක පමණ බදු මුදලක් අහිමි වී ඇතැයි වාහන ආනයනයකරුවෝ පෙන්වා දෙති. තවත් මෝටර් රථ 20 ක් එංගලන්තයේ සිට මෙරටට ආනයනය කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ.