පොදු මිනිසා දිනවන්න චන්ද්‍රිකා ඉදිරියට

පොදු මිනිසා දිනවන්න චන්ද්‍රිකා ඉදිරියට: වෙල්ගමත් එක්වන ලකුණු

by Staff writer 22-10-2019 | 8:23 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මාවතකට යොමු කර ගැනීම කාලීන අවශ්‍යතාවක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. මේ බව සඳහන් වන්නේ, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලය පිළිබඳව සිය අදහස් දක්වමින් ඇය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ නිවේදනයක ය. නිදහස් පක්ෂය නිවැරදි මාවතකට යොමු කර ගැනීම උදෙසා ජනතාව සමග එක්ව කටයුතු කිරීමට නොපසුබටව ඉදිරිපත් වන බව හිටපු ජනාධිපතිණී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. පක්ෂයේ වත්මන් බල අධිකාරිය සැලසුම් සහගතව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ කටයුතු තමාට දැනුම් නොදුන් බවත් ඒ සඳහා තමා සහභාගී කරවා නොගැනීම කුමන්ත්‍රණකාරීව සිදු වූවක් බවත් ඇගේ අදහස ය. ඔක්තෝබර් 10 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට පාවා දීමෙන් එය වඩාත් තහවුරු වන බව හිටපු ජනාධිපතිණිය අවධාරණය කරයි. ලෝභීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම ප්‍රමුඛ කාර්යක් බව පෙන්වා දෙන ඇය අවධාරණය කරන්නේ පවුල්වාදය පරදවා ගමේ පොදු මිනිසාට හිමි නිසි තැන ලබා දීමට උත්සුක විය යුතු බව ය.
කුමාර වෙල්ගම - පා.ම. එක්සත් ජනතා නිදහස් සන්ධානය "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරනවා කියන්නේ මේ වෙලාවේ ලේසි නෑ. හැබැයි අපිට කරන්න පුළුවන්. මම පරණ ශ්‍රී ලංකාකාරයෙක් හැටියට මම දකිනවා මේක කරන්න පුළුවන්. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ දියණිය අද අපි අතර ඉන්නවා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. එතුමියගේ නායකත්වයෙන් එතුමියගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට බේර ගන්න පුළුවන්. අපි ඒකට අඩිතාලම දාලා තියෙන්නේ. දැන් මම කියනවා ප්‍රසිද්ධියේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරනවා නම් මම නම් පොහොට්ටුවට වැඩ කරන්නේ නෑ. මම පොහොට්ටුවට ඡන්දේ දෙන්නෙත් නෑ. ඒවාගේම මම හංසයාට යන්නෙත් නෑ. නමුත් මම ස්වාධීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන අරමුණින් මම ඉදිරියට යන්නේ." දයාසිරි ජයසේකර - මහ ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය "අපිට රාජක්ෂ ආණ්ඩුවත් එක්ක ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හැබැයි ඒවා අපි විසඳ ගන්න ඕනේ අපේ අභ්‍යන්තරයෙන් මිසක් එළියට ගිහිල්ල පක්ෂය විනාශ කරල නෙවෙයි.කුමාරතුංග මැතිණිය 1987ත් මේ විදිහටම පක්ෂය කඩාගෙන ගිහිල්ල මහජන පක්ෂය හදල බහුජන නිදහස් පෙරමුණ හදල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කරලා සම්පූර්ණයෙන් නැවත එතුමියම ඇවිල්ල තමයි මේ පක්ෂය ජයග්‍රහණය කරා ගෙන ගියේ. ඒ නිසා ඒ ගෞරවය අපිට තියෙනවා එතුමියට. අද එතුමිය කරන්න හදන වැඩෙන් වෙන්නේ බොහොම පැහැදිලිව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ ඉන්නේ වමේ බලවේගයත් සමග. අපි සිටිය යුත්තේ වමේ බලවේගයත් සමග. මේ තියෙන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක තියෙන පුද්ගලික වෛරයක් මිසක වෙන කාරණයක් නෙවෙයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු යම් යම් කාරණා පිළිබඳව තියෙනව නම් ප්‍රශ්න ටිකක් ඒක අපි වෙනම විසඳ ගත යුතුයි. හැබැයි ඒකට විසඳුම නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිහිල්ල එක්සත් ජාතික පක්ෂයට හේත්තු කරන එක. අපි එතන නෑ."