වැසි තත්ත්වය තවදුරටත්

වැසි තත්ත්වය තවදුරටත්

by Staff writer 22-10-2019 | 7:09 AM
COLOMBO (News 1st) : දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි. පවතින අධික වර්ෂාව සමග දිවයිනේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, තබ්වෝව, අංගමුව, රාජාංගණය, දැදුරුඔය සහ කුකුලේගඟ යන ජලාශවල වාන්දොරටු මේ වන විට විවෘත කර ඇති බවයි. මේ හේතුවෙන් මෙම ජලාශවලින් පහළ වාරී කොටසේ ජනතාව මේ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් මෙම ජලාශවලින් පිටකරන ජලය භාවිතය දැඩි අවදානම් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසී ය. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක 04කට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාමකයි. බදුල්ල, කෑගල්ල , රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් වෙත නායයෑම් අනතුරු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසී ය. මේ අතර පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1437 ක පුද්ගලයින් 5018 දෙනෙකු පීඩාවන්ට පත්වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. වෙන්නප්පුව, මහවැව, නාත්තන්ඩිය, වනාතවිල්ලුව හා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැසි ජලය එක්රැස්වීම නිසා එම ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්වී ඇතැයි සඳහන් ය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එම්.එම්.ආර්.එන්.කේ අලහකොන් මහතා පැවසුවේ කලා වැව පිටාර දැමීම හේතුවෙන් මේ වන විට මන්නාරම - පුත්තලම පැරණි මාර්ගය එළුවන්කුළම ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති බවයි. මෙයට අමතරව ජල ගැලීම් හා වැසි ජලය බැස නොයාම නිසා පවුල් 42 ක පුද්ගලයින් 129 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රදවා ඇති බව ද අලහකෝන් මහතා වැඩිදුරටත් පැවසී ය.