නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිශේක මංගල්‍යය අද

නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිශේක මංගල්‍යය අද: ජනපති මෛත්‍රීත් එක් වෙයි

by Staff writer 22-10-2019 | 7:50 PM
COLOMBO (News 1st) - ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිශේක මංගල්‍යය අද ටෝකියෝ නුවර ඉම්පීරියල් මාළිගයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විය. ඒ, රටවල් 180කට අධික රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙනි. නරුහිතෝ අධිරාජ්‍ය මසාකෝ අධිරාජිණිය සමග සම්ප්‍රදානුකූලව රජ ඇඳුමින් සැරසී ඉම්පීරියල් මාළිගාවේ ප්‍රධාන ශාලාවට පැමිණීමත් සමග රාජාභිෂේක මංගල්‍යය ආරම්භ කෙරිණි. සුකොයි නො රෙයි යනුවෙන් හැඳින්වෙන රාජාභිශේක මංගල්‍යය පැවැත්වුණේ ජපානයේ පුරාණ සම්ප්‍රදායික චාරිත්‍ර පිළිවෙත්වලට අනුව ය. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු, බෙල්ජියමේ පිල්ප් කුමරු ඇතුළු සම්භාවනීය අමුත්තන් අතරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් ද එක්වූහ. අභිෂේක මංගල්‍යයෙන් අනතුරුව නව අධිරාජ්‍යයා රාජ්‍ය නායකයින් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්වීම විශේෂත්වයකි. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා මහතා අතර හමුවක් සිදුව තිබේ. ඒ, ජපානයේ ටෝකියෝ නුවරදී ය. ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ගත්ත ද මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ තවදුරටත් රටට අවශ්‍ය බව හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ත්‍රස්තවාදය මැඩලීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බව ය. ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සුහද මිතුරෙකු ලෙස ජපානයේ සහය අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.