හේමසිරි ප්‍රනාන්දුගෙන් පැය 8ක් ප්‍රශ්න කෙරේ

ජනපති කොමිසම හේමසිරි ප්‍රනාන්දුගෙන් පැය 8ක් ප්‍රශ්න කරයි

by Staff writer 22-10-2019 | 6:40 AM
COLOMBO (News 1st) : රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය සිව් වසර තුළ සිදූවු වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසම හමුවේ ඊයේ පැය 8 කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන්නේ ය. හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ පෙරවරු 9.30 ට පමණ කොමිසම හමුවට පැමිණියේ බන්ධනාගාර නිලධාරීන් සමඟයි. මහජන බැංකුවේ සභාපතිවරයාව සිටි සමයේ සිදූවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ඒ මහතා පැය තුනකට අධික කාලයක් කොමිසමේ පොලිස් ඒකකයට සාක්ෂි ලබා දුන්නේ ය. අනතුරුව හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී සිටිමින් පැය 5කට අධික ප්‍රකාශයක් ලබා දී පස්වරුවේ නැවත බන්ධනාගාරයට රැගෙන ගිය බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය.