ආසියානු කුසලාන නැගී එන තරගාවලිය 14 වන දා සිට

ආසියානු කුසලාන නැගී එන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනේ

by Staff writer 22-10-2019 | 4:55 PM
COLOMBO (News 1st) : 2019 ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය තෝරා පත් කරගෙන තිබේ. මෙම කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංකට ලබා දී ඇති අතර කණ්ඩායමේ උප නායකත්වය හිමිව ඇත්තේ, කමිඳු මෙන්ඩිස්ටයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සිව්වැනි වරටත් පවත්වනු ලබන වෙන මෙම තරගාවලිය මෙවර බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. ඒ ලබන නොවැම්බර් 14 වන දා සිට 23 වැනිදා දක්වායි. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා හොංකොං යන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගී වේ. එම රටවල් අතරින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා සත්කාරක බංග්ලාදේශය වැනි ටෙස්ට් තරග ක්‍රීඩා කරන රටවල සංචිතයන් සඳහා වයස අවුරුදු 23ට අඩු ක්‍රීඩකයින් 11 දෙනෙකු ක්‍රීඩා කළ යුතු අතර අනෙක් රටවල් තුන නියෝජනය කරමින් තරගාවලිය සඳහා සහභාගී වන්නේ ඔවුන්ගේ ජාතික කණ්ඩායම් වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා සංචිතය සඳහා පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, අශේන් බණ්ඩාර, අසලංක හා මෙන්ඩිස් වැනි පිතිකරුවන් රැසක්ම ඇතුළත් කර තිබේ. කඩුලු රකින පිතිකරුවන් ලෙස නිශාන් මදුෂ්ක හා පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේදී 20යි 20 වරම් දිනා ගත් මිනෝද් භානුකද ඇතුළත් වෙති. පන්දු යවන්නන්ගේ ලෙස වමතින් වේග පන්දු යවන කලන පෙරේරා, දකුණතින් වේගපන්දු යවන ශිරාන් ප්‍රනාන්දු හා ජෙහාන් ඩැනියල් ඇතුළත් අතර එහි සිටින අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.