පළාත් කිහිපයකට අදත් ගිඟුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට අදත් ගිඟුරුම් සහිත වැසි

by Staff writer 21-10-2019 | 7:49 AM
COLOMBO (News1st) : බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර පවතින අධික වර්ෂාව සමග රාජාංගනය , තබ්බෝව සහ දැදුරු ඔය ජලාශ වල වාන් දොරටු විවෘත කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවයි. රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කර තිබේ. දැදුරු ඔය ජලාශයේ විවෘත කර ඇති වාන් දොරටු සංඛ්‍යාව 04කි. මේ හේතුවෙන් පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසී ය. මේ අතර රත්නපුර, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යෑම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබද විමසිලිමත්විය යුතු බවයි. .