අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහතට

උත්සව සමයට සමගාමීව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහතට

by Staff writer 21-10-2019 | 6:29 PM

COLOMBO (News 1st) - ඉදිරි උත්සව සමයට සමගාමීව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත දමා තිබේ.

ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසුවේ, දැනට රුපියල් 450 - 500 ත් අතර පවතින වියළි මිරිස් කිලෝග්‍රෑමයක මිල අඩු කිරීම සඳහා ආනයනික වියළි මිරිස් කිලෝග්‍රෑමයක බද්ද රුපියල් 25.00 සිට 5.00 දක්වා රුපියල් 20 කින් අඩුකර ඇති බවයි. ආනයනික මාළු කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 100 - 25 දක්වා රුපියල් 75 කින් අඩු කිරීමට ද ජීවන වියදම් කමිටුවේදී තීරණය කළ බව අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේ ය. මේ අතර ඉදිරි උත්සව සමය වෙනුවෙන් පවතින කුකුළු මස් හා බිත්තර මිල පාලනය උදෙසා කුකුළු මස් හා බිත්තර ආනයනයට ද මෙහිදී අනුමැතිව හිමිව තිබේ. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, රජයේ ගබඩාවන්හි පවතින වී තොග මෙට්‍රික්ටොන් 48,000 ක ප්‍රමාණය සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වී මෝල් හිමියන් මගින් ඉතා ඉක්මනින් සහල් කර සතොස හරහා නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 80 කට ද සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 85 කට ද අලෙවි කිරීමට තීරණය කර ඇති බවයි.