ඉන්දීය ප්‍රහාරවලින් පකිස්ථාන සෙබළුන් පිරිසක් මරුට

ඉන්දීය ප්‍රහාරවලින් පකිස්ථාන සෙබළුන් පිරිසක් මරුට

by Staff writer 21-10-2019 | 8:33 AM
පකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයට එල්ල කළ ප්‍රහාරවලින් එරට සෙබළුන් 6 ත් 10 ත් අතර සංඛ්‍යාවක් මියගොස් ඇතැයි, ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් පවසයි. ඉන්දීය හමුදා ප්‍රධානියා අවධාරණය කළේ, මෙම ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් රැසක් ද මියගිය බවයි. පකිස්ථාන කාශ්මීරයේ ත්‍රස්ත ඉලක්ක සහ හමුදා බල ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ඉන්දියාව මෙම ප්‍රහාරය එල්ල කළේ, සටන් විරාමය උල්ලංඝනය කරමින්, ඉන්දු කාශ්මීරයට පකිස්ථානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙසිනි. පකිස්ථාන හමුදාව , ඉන්දීය දේශසීමාව තුළට පකිස්ථාන ත්‍රස්තවාදීන් ඇතුළු කිරීමට ගත් ප්‍රයත්නයට ප්‍රතිචාරයක් ලෙස මෙම කාලතුවක්කු ප්‍රහාරය එල්ල කර ඇතැයි ද සඳහන් වේ. ඉන්දු කාශ්මීරයට එල්ලවූ එම ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළුන් දෙදෙනෙක් සහ සිවිල් වැසියක් ද ජීවිතක්ෂයට පත්වූහ. තමන් පකිස්ථාන කාශ්මීරයට එල්ල කළ ප්‍රහාරයෙන් ත්‍රස්ත කඳවුරු හතරක් සම්පූර්ණයෙන්ම වනාශ වූ බවට තොරතුරු ලැබී ඇතැයි ද ඉන්දීය හමුදාව අවධාරණය කළේ ය. කෙසේ වෙතත් ඉන්දියාව, පකිස්ථාන කාශ්මීරයේ ත්‍රස්ත කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවට පළ වන වාර්තා පකිස්ථානය ප්‍රතික්ෂේප කළේ ය.