වේල්සය සහ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

වේල්සය සහ දකුණු අප්‍රිකාව ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට

by Staff writer 20-10-2019 | 6:46 PM

(News 1st) - වේල්සය සහ දකුණු අප්‍රිකාව ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට අද සුදුසුකම් ලබා තිබේ.

ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර එහි අර්ධ අවසන් පූර්ව වටයේදී වේල්සය සමගින් තරග වැදුණේ ප්‍රංශයයි. ආරම්භයේ සිට උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු අර්ධයේදී ප්‍රංශය ලකුණු 19 ට 10 ක් ලෙස ඉදිරියෙන් සිටියේ ය. දෙවැනි අර්ධයේදී තරගයේ පාලනය සියතට ගත් වේල්සය ලකුණු 10 ක් රැස් කර තිබේ. ප්‍රංශ ක්‍රීඩකයින්ට දෙවැනි අර්ධයේදී කිසිදු ලකුණක් රැස් කර ගැනීමට හැකි වුණේ නැත. ඔවුන් උත්සාහක දිනුම් 2 ක් ප්‍රවර්තන 2 ක් සහ දඬුවම් පහර 2 කින් ජය මාවතට පිවිසුණහ. වේල්සය ජය ගත්තේ ලකුණු 20 ට 19 ක් ලෙසයි. එම ක්‍රීඩකයින් ලෝක කුසලාන රග්බි තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් 3 වැනි අවස්ථාව මෙයයි. අනෙක් අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ටොකියෝහිදී පැවැත්වුණේ සත්කාරක ජපානය සහ දකුණු අප්‍රිකාව අතරයි. තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදී ලකුණු 5 ට 3 ක් ලෙස දකුණු අප්‍රිකාව පෙරමුණ ගත්තේ ය. ප්‍රතිවාදී ජපාන ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් එල්ල කළ දකුණු අප්‍රිකාව දෙවැනි අර්ධයේදී තව ත් ලකුණු 21 ක් රැස් කළහ. ජපාන ක්‍රීඩකයන්ට එම අර්ධයේදී කිසිදු ලකුණක් රැස් කර ගැනීමට හැකි වුණේ නැත. ඒ අනුව ලකුණු 26 ට 3 ක් ලෙස දකුණු අප්‍රිකාව තරගයේ ජය ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසුණේය. දකුණු අප්‍රිකාව ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් 5 වැනි අවස්ථාව මෙයයි. ලෝක කුසලාන රග්බි කිරුළ වෙනුවෙන් තරග වදිමින් අවසන් පූර්ව වටයට පිවිස සිටින්නේ නවසීලන්තය, එංගලන්තය, වේල්සය සහ දකුණු අප්‍රිකාවයි.