සමාජ මාධ්‍ය හරහා වෛරීසහගත ප්‍රකාශ ඉහළට

මැතිවරණ ‍ව්‍යාපාරය තුළ සමාජ මාධ්‍ය හරහා වෛරීසහගත ප්‍රකාශ ඉහළට - කැෆේ සංවිධානය

by Staff writer 20-10-2019 | 5:45 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණ, මැතිවරණ ‍ව්‍යාපාරය තුළ වෛරීසහගත ප්‍රකාශ ඉහළ යාමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි.

එහි අධ්‍යක්ෂ සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කළේ, මැතිවරණ රැස්වීම් වේදිකා තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ අපේක්ෂකයින් සම්බන්ධයෙන් අසත්‍ය සහ වෛරී සහගත ප්‍රකාශ වර්ධනයවීමක් දක්නට ඇති බවයි. කැෆේ සංවිධානය මෙවර ප්‍රථම වරට ජනාධිපතිවරණයට අදාළ සමාජ මාධ්‍ය නිරීක්ෂණ ඒකකයක් පිහිටුවා තිබේ. එහි නිරීක්ෂණ අනුව පෙනී ගොස් ඇත්තේ, ඇතැම් අපේක්ෂකයින් සමාජ ජාල තුළ සිය මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනු වෙනුවට ප්‍රතිවාදී අපේක්ෂකයින් අපකීර්තියට පත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි. විශාල ග්‍රාහකයින් ප්‍රමාණයක් සිටින ෆේස්බුක් පිටු සහ යූ ටියුබ් නාලිකා මිලට ගනිමින් ඒ ඔස්සේ ප්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳ වැරදි මත ප්‍රචාරය කිරීමේ මෙම වැඩපිළිවෙළ තුළින් සැබෑ ජනමතය විකෘති විය හැකි බව කැෆේ සංවිධානය පවසයි. මැතිවරණ වේදිකාවල ද වෛරී සහගත ප්‍රකාශ සහ ජාතිවාදය මතුකර දැක්වීමේ ප්‍රකාශ වර්ධනය වී ඇති බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීම තුළින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවදානම ඉහළ යන බව කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ ය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ කැෆේ සංවිධානයට පැමිණිලි 199 ක් වාර්තා වී ඇති අතර ඉන් බොහොමයක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ රාජ්‍ය දේපළ අයථා පරිහරණය කිරීම් බව ද එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.