ආනන්ද - නාලන්දා වාර්ෂික හොකී තරගයේ ජය කොළඹ ආනන්දයට

එම්.ඩබ්. කරුණානන්ද කුසලාන හොකී තරගයේ ජය කොළඹ ආනන්ද විද්‍යාලයට

by Staff writer 20-10-2019 | 11:28 AM

COLOMBO ( News 1st ) - 18 වන වරටත් කොළඹ නාලන්දා විද්‍යාලය සමග පැවති එම්. ඩබ්. කරුණානන්ද කුසලාන මහා හොකී තරගය ජය ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් වුණි.

ඔවුන් එම කුසලානය හිමි කර ගත් අඛණ්ඩ දෙවැනි අවස්ථාව වන්නේ මෙයයි. ශ්‍රී ලංකා පාසල් ඉතිහාසයේ පැරණිතම හොකී මහා තරගය ලෙස සැලකෙන කොළඹ ආනන්ද - නාලන්දා වාර්ෂික හොකී තරගය මෙවර කොළඹ කෘතිම හොකී පිටියේදී පැවැත්වුණි. චමෝද් ගුණසේකර විසින් මෙවර තරගයේදී ආනන්ද විද්‍යාලය මෙහෙය වූ අතර කොළඹ නාලන්දා විද්‍යාලයට නායකත්වය ලබා දුන්නේ හෙමාල් කෙහෙලියයි. මෙම තරගය සංවිධානය කර තිබුණේ ආදී ආනන්දීය හොකී සංගමය විසින් ය. වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාද වූ තරගයේ ආරම්භයේ සිටම වැඩි දක්ෂතාවක් දැක්වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයයි. ඔවුන් තරගයේ පළමු අර්ධයේදී පන්දුවේ පාලනය තමන් සතු කර ගත්තේ ය. එම අර්ධයේදී කොළඹ ආනන්ද විද්‍යාලයට හිමි වූ ශෝට් කෝනර් අවස්ථාව සාර්ථක කර ගත් ඔවුන් සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කර ගත්තේ ය. ප්‍රතිවාදී කොළඹ නාලන්දා විද්‍යාලයට තරගයේ පලමු අර්දයේදී කිසිඳු ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් හිමි වූයේ නැත. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවට පත් වුණේ කොළඹ ආනන්ද විද්‍යාලයට පෙරමුණ හිමිකර දෙමින් ය. තරගයේ දෙවැනි අර්ධය උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණි. එම අර්ධයේදී දෙපිලටම කිසිඳු ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් හිමි වුයේ නැත. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ ගෝල 1ට 0ක් ලෙස තරගය ජය ගත් කොළඹ ආනන්ද විද්‍යාලය හයවන වරටත් එම්. ඩබ්. කරුණානන්ද කුසලාන මහා හොකී තරගය ජය ගැනීමට සමත් වුණි. 1990 වසරේදී ඇරඹී මෙම කොළඹ ආනන්ද - නාලන්ද වාර්ශික හොකී තරගය මේ වන විට අවස්ථා 11 කදී කොළඹ නාලන්දා විද්‍යාලය ජයගෙන තිබේ. කොළඹ ආනන්ද විද්‍යාලය අවස්ථා 6 කදී මෙම කුසලානය හිමිකරගෙන ඇති අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබෙනවා.