අධික වර්ෂාව හේතුවෙන් ජලාශ 3ක වාන් දොරටු විවෘත කෙරේ

අධික වර්ෂාව හේතුවෙන් ජලාශ 3ක වාන් දොරටු විවෘත කෙරේ

by Staff writer 20-10-2019 | 6:12 PM

COLOMBO (News 1st) - පවතින අධික වර්ෂාව සමග රාජාංගනය, තබ්බෝව සහ දැදුරු ඔය ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එම්.එම්.ආර්.එන්කේ අලහකෝන් මහතා සඳහන් කළේ, තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවයි. මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කර තිබේ. දැදුරු ඔය ජලාශයේ විවෘත කර ඇති වාන් දොරටු සංඛ්‍යාව 4 කි. මේ හේතුවෙන් පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එම්.එම්.ආර්.එන්කේ අලහකෝන් මහතා සඳහන් කළේ ය. රත්නපුර, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යෑම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ විමසිලිමත්විය යුතු බවයි. පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද රාත්‍රියේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි වර්ෂාපතනයන් ඇති විය හැකි බවයි. සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි වේ. ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි අතර අකුණු අනතුරුවලින් ආරක්ෂාවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර දිවයිනට දකුණු සහ ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 ක් දක්වා ක්ෂණිකව ඉහළ යා හැකිය. ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර එම මුහුදු ප්‍රදේශවල එක්දින සහ කුඩා ධීවර යාත්‍රා මුහුදුයාමෙන් වැලකී සිටිම වඩා සුදුසු බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා ප්‍රකාශ කළේ ය.