ජනාධිපති අපේක්ෂකයින්ගෙන් මිලින්ද මොරගොඩ කළ ඉල්ලීම

ලංකා දේශපාලනයේ හොඳ හිත් ඇති නායකයින් ඔවුන්ගේ සගයින් විනාශ කරයි - මිලින්ද මොරගොඩ

by Staff writer 19-10-2019 | 6:32 PM

COLOMBO (News 1st ) - හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා සියලුම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ, ඔවුන්ට සහයෝගය දක්වන පුද්ගලයින් කවුරුන්දැයි ඡන්ද දායකයින් ඉදිරියේ හඳුන්වා දෙන ලෙසට ය. හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා
මට ඔබගේ මිත්‍රයන්ව හදුන්වා දෙන්න. එවිට මම කියන්නම් ඔබ මොන විදියේ පුද්ගලයෙක්ද කියා. එය රුසියානු විප්ලවාවාදී දේශපාලනඥ, වැලැද්මීර් ලෙනින් පැවසු දෙයක්.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ හොඳ හිත් ඇති නායකයින් ඔවුන් වටා සිටින පුද්ගලයින් විසින් විනාශ කරන බව ය. ඔවුන් වටා සිටින දේශපාලන සගයින්, උපදේශකයින්, ව්‍යාපාරිකයින් හා පවුලේ සාමාජිකයින් මෙය සිදු කරන බව මොරගොඩ මහතා පවසයි. ජනාධිපති අපේක්ෂකයින් ධූරයට පත්වීමට පෙර ඔවුන් වටා සිටින්නන් පාලනය කර නොගතහොත් දිවුරුම් දීමෙන් පසු එසේ කිරීම පිළිබඳ විශ්වාසයක් තැබීම බොළඳ ක්‍රියාවක් බව හිටපු අමාත්‍යවරයාගේ අදහස වේ. උදාහරණයක් ලෙස ඔහු දක්වා ඇත්තේ සිංප්පුරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ වැනි පාලකයින් බලයට පත්වීමෙන් පසු ඔහුගේ කැබිනට් අමාත්‍යවරයෙකු මෙන්ම මිත්‍රයෙකු ද වූ පුද්ගලයෙකුට එරෙහිව අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් විවෘත පරීක්ෂණයක් ආරම්භ කළ බව ය. එමෙන්ම තවත් සමීප මිතුරෙකු මෙන්ම පක්ෂපතී අයෙකු වූ රාජ්‍ය අමාත්‍යවරයෙකු ධනපතියෙකුගෙන් නොමිලේ විදෙස් සංචාරයක් හා ත්‍යාගයක් වශයෙන් නිවාඩු නිකේතනයක් ලබා ගැනීම යන චෝදනාව මත සිර ගත කර ඇති බව ද අමාත්‍යවරයා පවසා තිබේ. මලයාසියාවේ අගමැති මහතීර් මොහොමඩ් ඔහු හා සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්, මිල අධික වාහන මිලදී ගැනීම හා සුඛෝපභෝගී කාර්යාලවල සේවය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කර ඇති බව ද මිලින්ද මොරගොඩ මහතා සිහිපත් කරන තවත් කරුණකි. මහජනතාව නායකයෙකු කරන සියල්ල අනුගමනය කරයි. ඔහුගේ අනුගාමිකයින් ඔහු සකස් කරන සෑම ප්‍රමිතියක්ම අනුකරණය කරයි. යනුවෙන් භගවත් ගීතාවෙහි ක්‍රිෂ්ණා දෙවිඳුන් පවසා ඇති අදහස සිහිපත් කරමින් හිටපු අමාත්‍යවරයා සිය නිවේදනය අවසන් කර තිබේ. ඔහු අවසාන වශයෙන් සඳහන් කර ඇත්තේ මෙය ජනතාව හොඳින් මතකයේ තබා ගත යුතු බව ය.