කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමග පොලිස් නිලධාරියෙකු ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට

by Staff writer 19-10-2019 | 2:52 PM

COLOMBO ( News 1st ) - නාවික හමුදාව කළ වැටලීම්වලින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 385 කට අධික තොගයක් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එක් වැටලීමක් ක්‍රියාත්මක කෙරුණේ, මන්නාරම ඉලුපාකඩවෙයි ප්‍රදේශයේදීයි. එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 164 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, අද අලුයම අණ නොතකා ධාවනය කළ සුඛෝපභෝග ජීප් රථයක් ලුහු බැඳ ගොස් වෙඩි තැබූ බවයි. පසුව එය පරීක්ෂා කර සැකකරුවන් සමග කේරළ ගංජා තොගය නාවික හමුදාව භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මොණරාගල මැදගම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන අයෙකි. මේ අතර පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 221ක් සමග ඩිංගි යාත්‍රා 2ක් නාවික හමුදාව භාරයට ගෙන ඇත. නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩර මහතා පැවසුවේ, වෙරළ ආරක්ෂක බලකාය සමග ක්‍රියාත්මක කළ ඒකාබද්ධ වැටලීමකදී සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.