මත්තල වී ගබඩා කිරීම ගැන ඇමති දයා කියූ දේ

මත්තල වී ගබඩා කිරීම ගැන ඇමති දයා ජනපති කොමිසම හමුවේ කියූ දේ

by Staff writer 18-10-2019 | 6:32 PM

COLOMBO ( News 1st ) - අමාත්‍ය දයා ගමගේ මහතා වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියේ ය.

අමාත්‍යවරයා මෙලෙස පැමිණියේ මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමෙන් එහි උපකරණවලට සිදු වූ හානිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා ය. වී ගබඩා කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම සම්බන්ධයෙන් කමිටුවක් ක්‍රියා කළ අතර ඒ අනුව අදාළ තෝරා ගැනීම සිදු කළ බව සාක්ෂි දෙමින් ඔහු පවසා තිබේ. අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, ඊට බලධාරීන්ගේ අනුමැතිය ලබා දුන් නමුත් ගුවන්තොටුපොළේ දේපලවලට හානි නොවන අයුරින් ගබඩා කිරීම ගුවන්තොටුපොළේ ගබඩා භාර නිලධාරියාගේ වගකීම බව ය. එසේ සිදු කිරීමට නොහැකි නම් ඒ බව වුවද ඉහළ පාලනාධිකාරියට දැනුම් දීම ගබඩා භාර නිලධාරියා විසින් සිදු කළ යුතුව තිබූ බව ද දයා ගමගේ මහතා අවධාරණය කළේ ය. මෙම සිද්ධියටම අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබිණි. නමුත් අග්‍රාමාත්‍යවරයාට අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් දැනුම් දී තිබේ. ඒ අනුව කොමිසම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇත්තේ, ලබන 23 වන දා පෙනී සිටින ලෙස ය. මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද අද ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබිණි. ඒ, ඔහු සභාපතිවරයාව සිටි සමයේ මහජන බැංකුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියකදී සිදු වූ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයකට අදාළව ය. දැනට රක්ෂිත බන්ධානාගාරගතව සිටින හේමසිරි ප්‍රනාන්දු මහතා අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බැවින් ඔහු අද ඉදිරිපත් කළ නොහැකි බව බන්ධනාගාරය ජනාධිපති කොමිසමට දන්වා තිබේ. ඒ අනුව කොමිසම ඔහුට දන්වා ඇත්තේ, ලබන 21 වන දා පෙනී සිටින ලෙස ය.