දිවුලපිටියේ නිවසකින් හෙරොයින් තොගයක් සොයා ගැනේ

දිවුලපිටියේ නිවසකින් කිලෝග්‍රෑම් 30කට ආසන්න හෙරොයින් තොගයක් සොයා ගැනේ

by Staff writer 18-10-2019 | 5:37 PM
COLOMBO (News 1st) - දිවුලපිටියේ නිවසක සඟවා තිබූ කිලෝග්‍රෑම් 30කට ආසන්න හෙරොයින් තොගයක් අද සොයා ගත්තේ ය. පොලීසිය පැවසුවේ, සැකපිට පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය. මෙම හෙරොයින් තොගය සොයා ගෙන ඇත්තේ දිවුලපිටිය උල්ඇලපොල මිල්කාසිල්වත්ත ප්‍රදේශයේ නිවසකිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, දිවුලපිටිය පොලීසියට ලද තොරතුරක් මත අද පෙරවරුවේ එම නිවස වැටලූ බව ය. මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 32ක අසුරා තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. පසුගිය දින කිහිපය තුළ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් අත්අඩංගුවට ගත් අවස්ථා කිහිපයක්ම වාර්තා විය. ඊයේ පස්වරුවේ පානදුර නල්ලුරුව වෙරළ තීරයේදී හෙරොයින් කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේ කළුතර දිසා අපරාධ ඒකකයි. පසුගිය 7 වන දා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීමේ දෙරටුවේදී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 50ක් සමග සුඛෝපභෝගී ජීප් රථයක් පොලීසිය භාරයට ගත්තේ ය. සැප්තැම්බර් මස 10 වන දා සිට මේ මස 10 වන දා දක්වා කාලය තුළ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 12069 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඉන් වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා සහ කේරළ ගංජා ජාවාරම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙනි. එම සංඛ්‍යාව 7232කි. එම කාලය තුළ හෙරොයින් ජාවාරම් කළ 4322 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 67 යි ග්‍රැම් 500කි. ඊට අමතරව කොකේන් ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. ඔවුන් සතුව තිබී සොයා ගත් මත්පෙති සංඛ්‍යාව 5681කි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ විවිධ පොලිස් ස්ථාන මගින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කළ බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.