යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද විවෘත කෙරේ

මෙරට තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද විවෘත කෙරේ

by Staff writer 17-10-2019 | 6:46 AM

COLOMBO (News 1st) - මෙරට තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද විවෘත කෙරේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි. පලාලි නගරයේ පිහිටා ඇති එම ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යාපනය නගරයේ සිට ඇති දුර කිලෝමීටර 20 කි. එහි ගුවන් පථය කිලෝමීටර 2.3 කින් සමන්විතය. අදියර තුනක් යටතේ ක්‍රියාත්මක එහි ඉදිකිරීම් සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් රුපියල් මිලියන 2,250 කි. ඉන්, රුපියල් මිලියන 1,950 ක් රජයෙන් වැය කරද්දී ඉතිරි රුපියල් මිලියන 300 ක මුදල හිමිවන්නේ ඉන්දීය ආධාර යටතේය. මේ හරහා උතුරු පළාතේ ජනතාවට සෘජුව ජාත්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සළසාගත හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ ය. ඒ අනුව ඉන්දියාවේ ප්‍රාදේශිය ගුවන්තොටුපොළවල් වන චෙන්නායි, තිරුචි සහ කොචි සිට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ වනු ඇති. එම ගුවන් ගමන් මෙහෙයවන්නේ ඉන්දියාවේ එයාර් ඉන්දියා සමාගමට අනුබද්ධිත, අලියන්ස් එයාර් ගුවන් සමාගම විසින් ය. යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් ලබන නොවැම්බර් මාසයේ සිට ආරම්භ කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ ය.