මාසයක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 12,069 දැලේ

මාසයක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 12,069 පොලිස් දැලේ

by Staff writer 17-10-2019 | 8:23 PM

COLOMBO ( News 1st  ) - සැප්තැම්බර් මස 10 වැනිදා සිට මේ මස 10 වැනිදා දක්වා කාලය තුළ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 12,069 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඉන් වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා සහ කේරල ගංජා ජාවාරම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙනි. එම සංඛ්‍යාව 7,232 කි. ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගත් ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 943 කට අධික ය. අදාළ කාලය තුළ හෙරොයින් ජාවාරම් කළ 4,322 ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 67 යි ග්‍රැම් 500 කි. ඊට අමතරව කොකේන් ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 3ක් ද අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. ඔවුන් සතුව තිබී සොයාගත් මත්පෙති සංඛ්‍යාව 5,681 කි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ විවිධ පොලිස් ස්ථාන මගින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කළ බව පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.