තුර්කි - සිරියානු දේශසීමා ගැන ට්‍රම්ප්ගේ මතය

තුර්කි - සිරියානු දේශසීමාව තම දේශසීමාව නොවන බව ට්‍රම්ප් කියයි

by Staff writer 17-10-2019 | 10:26 AM

News 1st - තුර්කි - සිරියානු දේශසීමාව තම දේශසීමාව නොවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඔහු අවධාරණය කළේ, සිරියාවේ කුර්දි සටන්කාමීන් සුරදූතයන් නොවන බවයි. සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට අමෙරිකාවට උපකාර කළ කුර්දි සටන්කාමීන් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය ලෝක ප්‍රජාවගේ දැඩි විවේචනයට ලක් විය. කුර්දි සටන්කාමීන්ට එරෙහි හමුදා මෙහෙයුම් ඇරඹීමට තුර්කියට ඉඩ දී සිරියාවේ ඊසානදිග ප්‍රදේශයෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ද ජනාධිපති ට්‍රම්ප් වෙත බටහිර රටවල් රැසක විරෝධය එල්ල විය. ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් ඇමතූ අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ අමෙරිකාව ප්‍රතිපත්ති පිළිබඳ නියෝජිතයකු නොවන බවයි. සිරියාවෙන් පිටවීමට කාලය එලඹි බැවින් අමෙරිකානු සෙබළුන් ඊසානදිග සිරියාවෙන් ඉවත්කර ගත් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය. ජනාධිපතිවරයා සිරියාවෙන් අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමට විරෝධය පළ කරමින් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඡන්දය පළ කළ අතර ඊට සහය පළ කළ අය අතරට ඩිමොක්‍රැටික් මෙන්ම රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් ද වේ. තුර්කිය මීට සතියකට පෙර සිරියාවේ හමුදා මෙහෙයුම් ඇරඹුවේ ඊසානදිග සිරියාවෙන් කුර්දි සටන්කාමීන් පලවාහැර තුර්කියේ දිවිගෙවන මිලියන දෙකක සිරියානු සරණාගතයන් එම ප්‍රදේශයේ පදිංචි කිරීමේ අරමුණිනි. මෙම මෙහෙයුම් කුර්දි සටන්කාමීන්ගේ භාරයේ සිටි අයි. එස් ත්‍රස්තවාදීන්ගේ පළා යාමට හේතු වූ නමුත් කිසිදු අයි. එස් ත්‍රස්තවාදියකුට සිරියාවට පිටවීමට ඉඩ නොදෙන බව තුර්කි ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළේ ය. දේශපාලන විචාරකයන් පවසන්නේ, තුර්කියේ මෙහෙයුම් අයි. එස් ත්‍රස්තවාදය යළි නැගිසිටීමට මං පෙත් හෙළිකරනු ඇති බවයි.