දුම්රිය සේවයේ වැටුප් විෂමතා ගැන අධ්‍යයනයට කමිටුවක්

දුම්රිය සේවයේ වැටුප් විෂමතා යෝජනා අධ්‍යයනයට නව කමිටුවක්

by Staff writer 16-10-2019 | 5:12 PM
COLOMBO (News 1st) - දුම්රිය සේවය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම හා වැටුප් ව්‍යුහය සකස් කිරීමේදී ගත යුතු යෝජනා අධ්‍යයනය කිරීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා පශූ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ සභාපතිත්වයෙන් එම කමිටුව ක්‍රියාත්මක ය. දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම සහ සේවකයින්ට සුදුසු වැටුප් ව්‍යුහයක් සකස් කිරීම සඳහා මීට පෙර කැබිනට් අනුමැතිය හිමි විය. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පැනනැගිය හැකි ප්‍රායෝගික ගැටලු අවම කර, එකී යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළ නිර්දේශ මෙම කමිටුව මගින් ඉදිරිපත් කිරීමට නියමිත බව රජය සඳහන් කළේ ය. මේ අතර ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ නිරීක්ෂණ හා යෝජනා ඇතුළත් අතුරු වැටුප් යෝජනාව සම්බන්ධයෙන් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ නිර්දේශය ලබා ගැනීම සඳහා ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ගුරු - විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කර, වැටුප් ව්‍යුහයක් සකස් කර යම් කාලයක් ගත වීම සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව මෙම අතුරු යෝජනාව රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන සම්බන්ධයෙන් වූ විශේෂ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති අමාත්‍යංශ නිරීක්ෂණ හා යෝජනා අනුව සකස් කර තිබේ.