තුර්කි-සිරියා හමුදා ගැටුම්වලට ඉඩ නැහැ - රුසියාව

තුර්කි - සිරියා හමුදා අතර ගැටුම් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ - රුසියාව

by Staff writer 16-10-2019 | 10:18 AM

(News 1st): තුර්කි සහ සිරියානු හමුදා භට පිරිස් අතර ගැටුම් හට ගැනීමට ඉඩ නොදෙන බව රුසියාව පවසයි .

රුසියාව මේ බව සඳහන් කළේ තුර්කිය, ඊසානදිග සිරියාවේ කුර්දි සටන්කාමීන්ට එරෙහිව හමුදා මෙහෙයුම් ඇරඹූ පසුබිමකදී ය. රුසියාවේ සිරියානු විශේෂ නියෝජිත ඇලෙක්සැන්ඩර් ලැව්රෙන්ට්යෙෆ් සඳහන් කළේ, දෙපාර්ශවය අතර එවැනි ගැටුමක් කිසිසේත්ම පිළිගත නොහැකි බව ය. අමෙරිකාව ඊසාන දිග සිරියාවෙන් ඉකුත් සතියේ සිය සෙබළුන් ඉවත් කර ගැනීම මෙම මෙහෙයුම ඇරඹීමට තුර්කියට වක්‍රාකාර අනුමැතිය ලබාදීමක් යැයි දේශපාලන විචාරකයන් චෝදනා කළේ ය. රුසියාව, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ප්‍රධාන හමුදා සහායකයකු වේ. කුර්දි සටන්කාමීන් සිරියානු රජය සමග එලැඹි ගිවිසුම් ප්‍රකාරව, තුර්කි හමුදාවට එරෙහිව සටන් වැදීමට සිරියානු හමුදාව ලබාදීමට සිරියානු රජය අනුමැතිය ලබා දී තිබේ.