ජනපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් 78,403ක් අහෝසියි

ජනාධිපතිවරණයට යොමු කළ තැපැල් ඡන්ද අයදුම්පත් 78,403ක් ප්‍රතික්ෂේපයි

by Staff writer 16-10-2019 | 8:58 AM

COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 78,403ක් ප්‍රතික්ෂේප කළ බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසම පැවසුවේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 7,17,918ක් ඉල්ලුම්පත් භාර දුන් බව ය. ඒ අතුරින් අයදුම්පත් 6,39,515ක තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගත් බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි තැපැල් ඡන්ද හිමියන්ට ලබන 31 වනදා සහ ලබන මස 01 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකි ය. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසියට ඒ සඳහා අවස්ථාව සලසා දී ඇත්තේ ලබන මස 04 වනදා ය. එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මස 07 වනදා තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා තිබේ.