කොටකෙතනදී මව සහ දියණියක මරා දැමූ රාජුට මරණ දඬුවම

2012 කොටකෙතනදී මව සහ දියණියක මරා දැමූ රාජුට මරණ දඬුවම

by Staff writer 15-10-2019 | 8:45 PM
COLOMBO (News 1st) - රත්නපුර, කොටකෙතන ප්‍රදේශයේ නිවසකදී 17 හැවිරිදි පාසල් සිසුවියක හා 52 හැවිරිදි ඇයගේ මව අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා දෙකට වරදකරු කරනු ලැබූ ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තාට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ, මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ය. ඇසින් දුටු සාක්ෂි කිසිවක් ඉදිරිපත් වී නොතිබුණත් ඉදිරිපත් වූ ඩී.එන්.ඒ. වාර්තා ඇතුළු පරිවේෂණීය සාක්ෂි අනුව විත්තිකරු විසින් එම ඝාතන සිදු කළ බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ ය. ඒ අනුව විත්තිකරුට එල්ල වී තිබූ චෝදනා දෙකකට වෙන වෙනම මරණීය දණ්ඩනය නියම කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. එම මළ සිරුරුවල තිබූ කැපුම් තුවාල කොතරම් දරුණ දැයි මරණ කරුවන් පදිංචි නිවසේ සිවිලිමේ ලේ පැල්ලම්වලින් පෙනී යන බවත් එම ප්‍රහාර එල්ල කර ඇත්තේ මරණීය චේතනාවෙන් බව තහවුරු වන බවත් පිටු 221කින් සමන්විත තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, 25 වසරක් වූ සිය විනිසුරු ජීවිතයේ ඉතා දිගු කාලයක් වැය කර සකස් කළ තීන්දු ප්‍රකාශය මෙය බව ය. 2012 ජනවාරි 31 වන දා රත්නපුර, කොටකෙතන ප්‍රදේශයේදී එම ද්විත්ව ඝාතන සිදු කර තිබිණි.