සුපිරි පන්දුවාරයේ වෙනසක්...

සුපිරි පන්දුවාරයේ ලකුණු සම වුණොත් තවත් සුපිරි පන්දුවාරක් - ICC

by Staff writer 15-10-2019 | 9:50 AM

COLOMBO ( News 1st ) - ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක, සුපිරි පන්දුවාරයකදී කණ්ඩායමක තරග ජය තීරණය කිරීමේ නීති සංශෝධනය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කර තිබේ.

ඒ, ඩුබායි නුවරදී නිමා වූ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික කමිටු රැස්වීමේදී ය. ලෝක කුසලාන තරගාවලියකදී ලකුණු සමවීමක් සිදු වුවහොත් තරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීම ඉදිරියටත් පවත්වා ගෙන යාමට අන්තර්ජාතික ක්‍රිකට් කමිටුව සිදු කළ නිර්දේශය සඳහා අයි.සී.සී විධායක කමිටුව එකඟතාවය පළ කර තිබේ. ඒ අනුව පන්දුවාර 20යි 20 සහ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක මූලික වටයේ තරගවලදී සුපිරි පන්දුවාරය ද ලකුණු සමවීමකින් අවසන් වුවහොත් එම තරග ලකුණු සම වීමෙන් අවසන් වූ තරග ලෙස ජය පරාජයකින් තොරව නිමා කරයි. කෙසේ වෙතත් අවසන් පූර්ව තරග සහ අවසන් තරගයේදී සුපිරි පන්දුවාරයක් සම වී අවසන් වුවහොත් එක් කණ්ඩායමක් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා තුරු සුපිරි පන්දුවාර යළි යළිත් ක්‍රියාත්මක කිරීමට අයි.සී.සීය තීරණය කර තීබීම විශේෂත්වයකි. මීට පෙර සුපිරි පන්දුවාරයක් සම වීමේ දී සිදු කෙරුණේ කණ්ඩායම් දෙක ලබා ගත් හතරේ පහර සංඛ්‍යාව අනුව තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම ය. නිමා වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ද සුපිරි පන්දුවාරයේ ලකුණු සමවීමක් සිදු වූ අතර, එහිදී එම තරගයේ වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කළ කණ්ඩායම බවට එංගලන්තය පත්වීම හේතුවෙන් ලෝක ශූරයින් බවට ඔවුන් තේරී පත් විය. ඒ, නවසීලන්තය පරාජයට පත් කරමින් ය. කෙසේ වෙතත් එම ක්‍රමවේදයට බොහෝ පාර්ශවවලින් එල්ල වූයේ දැඩි විරෝධයකි.