ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 513ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 513ක්

by Staff writer 15-10-2019 | 6:58 AM

COLOMBO ( News 1st ) - එළැඹෙන ජනාධිපතිවරණයට අදාළව මේ වන විට මැතිවරණ පැමිණිලි 513ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා අදාළ පැමිණිලි ලැබී ඇති බව ය. මේ අතර ජනාධිපතිවරණයට අදාළව පොලිස් මුලස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 15කි. පොලීසිය සඳහන් කළේ, පැමිණිලිවලට අදාළව සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ අතර ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 146 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. එහි ජාතික සංවිධායක නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ, රාජ්‍ය දේපල අවභාවිතය, රැකියා ලබා දීම, නීති විරෝධී ප්‍රචාරණය ආදිය සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බව ය. ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර දුන් දින සිට මේ දක්වා කාලය තුළ පමණක් මෙම පැමිණිලි වාර්තා වී ඇතැයි ඔහු පැවසුවේ ය. එමෙන්ම මේ වන විට පැෆ්රල් සංවිධානයට ලැබී ඇති පැමිණිලි ගණන 60 කට ආසන්න ය. රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතය, සංවර්ධන සහ සුබසාධන කටයුතු සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරණයට අදාළව මේ වන විට දිගු කාලීන නිරීක්ෂකයින් දිවයින පුරා යොදවා ඇතැයි ද ඔහු පැවසුවේ ය. ඒ අනුව මේ වන විට ක්‍රියාත්මක දිගුකාලීන නිරීක්ෂකයින් සංඛ්‍යාව 160ක් බව ද සඳහන් කළේ ය.