කොළඹ කුණු අරුවක්කාලු වෙත බැහැර කිරීම අත්හිටුවයි

කොළඹ කුණු අරුවක්කාලු වෙත බැහැර කිරීම අත්හිටුවයි

by Staff writer 15-10-2019 | 10:08 PM
COLOMBO (News 1st) - කොළඹ නගරයේ එක්රැස් වන කැළිකසළ අරුවක්කාලු කසළ අංගනයට බැහැර කිරීම හෙට සිට අත්හිටුවන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, අරුවක්කාලු කසළ අංගනය පිළිබඳව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් එම පියවර ගත් බව ය. ඒ පිළිබඳව දන්වමින් කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් සිදු කළ බව ද අමාත්‍යංශය සඳහන් කළේ ය. අරුවක්කාලු කසළ අංගනය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස හඳුන්වමින් නගරාධිපතිනිය පසුගියදා පුවත්පතකට විවේචනාත්මක අදහස් දැක්වීමක් සිදු කර ඇති බව අමාත්‍යංශය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. කැළිකසළ ගැටලුව විසඳීමට සිය අමාත්‍යංශය ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගත් බව පෙන්වා දෙන අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා පවසන්නේ, කෙරවලපිටිය කසළ අංගනය වසා දැමීමෙන් පසුව කොළඹ කැළිකසළ ගැටලුව විසඳීමට තිබූ එකම විසඳුම අරුවක්කාලු කසළ අංගනය බව ය.