සුළි කුණාටුවෙන් කිසිදු ලාංකිකයෙකුට බලපෑමක් නැහැ

ජපානයට බලපෑ සුළි කුණාටුවෙන් කිසිදු ලාංකිකයෙකුට බලපෑමක් නැහැ

by Staff writer 14-10-2019 | 1:01 PM
COLOMBO (News 1st) : ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑම් එල්ලවී නැතැයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතා පැවසුවේ, එම සුළි කුණාටුව පැවති ජපානයේ ප්‍රධාන නගර ආශ්‍රිතව ශ්‍රී ලාංකකයින් දිවි ගෙවන බවයි. කෙසේ නමුත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නැතැයි නියෝජ්‍ය තානාපතිවරයා සඳහන් කළේ ය.
"ලංකාවේ කිසිම කෙනෙකුට දෙයක් වෙලා කියලා කොහේවත් වාර්තා වේලා නෑ.ඇත්තටම මේක බලපැවැත්වෙන ප්‍රධාන පළාත් වල ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. නමුත් කිසිම කෙනෙකුට හානියක් වෙච්ච බවක් පෙන්නෙ නෑ. අපට වාර්තා වෙලා ඇත්තෙත් නෑ. ගොඩක් හොයලා බැලුවා. එහෙම විස්තරයක් නෑ.."
නියෝජ්‍ය තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, සුළි කුණාටුව පිළිබඳ පූර්ව දැනුවත් කිරීම් නිසි ලෙස සිදු කිරීම නිසා සිදුවන්නට තිබූ හානිය අවම වූ බවයි.
"දැන් තියෙන ප්‍රධාන කර්තවය තමයි විපතට පත් වෙලා තියෙන අයට කිට්ටුවෙන ඒක සහ ඒගොල්ලන්ව  ඒක බලා ගන්න ඒක. ආණ්ඩුව ගොඩක් වැඩපිළිවෙලවල් කරගෙන යන බව පේනවා. දැන් සතියක සිට විටින් විට විස්තර දුන්න නිසා මං හිතන්නෙ එහේ ඉන්න ජනතාව ගොඩක් දුරට මෙය බලාපොරෝත්තුවෙන් හිටියා. ඉතිං ඒක නිසා ඒකේ වෙලා තියෙන බරපතලකම අනුව අවතැන්ලා වෙලා තියෙන ප්‍රමාණයට වඩා තුවාල වෙලා තියෙන ප්‍රමාණය අඩුයි. හේතුව මේ ගොල්ලන්ගේ මේ ක්‍රමවේදය සාර්තකයි"
හගිබිස් සුළි කුණාටුවේ බලපෑමෙන් ජපානයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 16 දෙනෙකු අතුරුදන්ව සිටින අතර පුද්ගලයින් 189 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සුළි කුණාටුවේ ප්‍රභලත්වය මේ වනවිට දුර්වලව ඇති අතර එය පැසිෆික් මුහුදු කලාපයට හමා යමින් ඇති බවයි.