කිලිනොච්චියේදී සුරාබදු ජීප් රථයකට පොලීසියෙන් වෙඩි

කිලිනොච්චියේදී සුරාබදු ජීප් රථයකට පොලීසියෙන් වෙඩි

by Staff writer 14-10-2019 | 10:53 AM

COLOMBO (News 1st ) - කිලිනොච්චි, අරවියල්නගර් ප්‍රදේශයේදී සුරාබදු නිලධාරීන් රැගෙන, අණ නොතකා ධාවනය කළ ජීප් රථයකට පොලීසිය වෙඩි තබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද පෙරවරුවේ ජීප් රථයකින් විශාල ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව ගිය බවයි. එහිදී සැක සහිත ජීප් රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළ ද ජීප් රථය නොනවත්වා ධාවනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, එහිදී පොලිස් නිලධාරීන් ජීප් රථයට වෙඩි තබා ඇති අතර, වෙඩි තැබීමෙන් ජීප් රථයේ සිටි පුද්ගලයෙකුට වෙඩි වැදී සුළු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි. එම ජීප් රථයේ ගමන් කර ඇත්තේ, කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් බවට අනාවරණය වී ඇති අතර තුවාල ලබා ඇත්තේ, සුරාබදු ඒකකයට තොරතුරු සපයන පුද්ගලයෙකි.