ඉන්දියාවට එරෙහිව දකුණු අප්‍රිකා සංචිතය නම් කරයි

ඉන්දියාවට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට දකුණු අප්‍රිකා සංචිතය නම් කරයි

by Staff writer 14-10-2019 | 8:41 AM

COLOMBO ( News 1st ) - ඉන්දීය කණ්ඩායමට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට එක්වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබේ. ඒ අනුව වමතින් දග පන්දු යවන ක්‍රීඩක ජෝර්ජ් ලින්ඩ් ඊට කැඳවා තිබීම විශේෂත්වයකි.

ඔහු සංචිතයට කැඳවූයේ දෙවැනි තරගයේදී උරහිසේ ආබාධයකට ලක් වූ කේෂව් මහරාජ් වෙනුවටය. ඊයේ අවසන් වූ එම දෙවැනි තරගයේදී මහරාජ් අර්ධ ශතකයක් ද වාර්තා කළේ ය. කෙසේ නමුත් සත්කාරක ඉන්දීය කණ්ඩායම මේ වන විට තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය තහවුරු කරගෙන අවසන් ය. ඒ තරගාවලියේ දෙවැනි තරගයෙන් ඊයේ ඉණිමකින් සහ ලකුණූ 137කින් ජය ගැනීමත් සමග ය. මෙම ජයග්‍රහණයත් සමග මව්බිමේදී අඛණ්ඩව වැඩිම තරගාවලි ජයග්‍රහණ ගණනාවක් ලබාගත් රට බවට ද ඉන්දියාව පත් වූයේ 1994 සිට 2000 වකවානුව තුළ තරගාවලි ජයග්‍රහණ 10ක් ලබමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තබා තිබූ වාර්තාව අභිබවා යමින්. නායක කෝලි ඉන්දීය කණ්ඩායමට ඉනිමක ජයග්‍රහණ අත්කර දුන් 8 වැනි අවස්ථාව මෙය වන අතර ඒ අනුව ඔහු නායකයෙකු ලෙස එහිදී දෙවැනි වන්නේ ඉනිමක ජයග්‍රහණ 9ක් ඉන්දියාවට ලබා දී ඇති එම්. එස්. දෝනිට පමණ ය. විරාත් කෝලි මේ දක්වා ටෙස්ට් තරග 50කදී ඉන්දීය පිළ මෙහෙයවමින් තරග 30ක් ජයග්‍රහණයෙන් අවසන් කර තිබේ. මේ අතර තරගාවලියේ තුන්වැනි තරගය ලබන 19 වැනිදා රංචිහිදී ආරම්භ වීමට නියමිත ය.