හගිබිස් ජපානයේ ඉසු අර්ධද්වීපයට කඩාවදී

හගිබිස් සුළි කුණාටුවෙන් ජපානයේ 4 ක් මරුට 17 ක් අතුරුදන්

by Staff writer 13-10-2019 | 7:15 AM

News 1st - හගිබිස් සුළි කුණාටුව ජපානයේ ඉසු අර්ධද්වීපයට කඩා වැදී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර 60 කට පසු ජපානයට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව ලෙස සැලකෙන හගිබිස් මේ වනවිට පැයට කිලෝමීටර 225 ක සුළං වේගයකින් ජපානයේ නැගෙනහිර වෙරළ පුරා හමායන බවයි. සුළි කුණාටුව හමුවේ ජපාන නිවාස 270,000 ක විදුලිය ඇණහිට තිබේ. කුණාටුවෙන් මේ වනවිට පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් අවසන් අතර තව ත් පුද්ගලයන් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වූ බව ජපාන බලධාරීන් සඳහන් කළහ. හගිබිස් සුළි කුණාටුවේ බලපෑම හමුවේ මේ වනවිට අතුරුදන්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 17 කි. සුළි කුණාටුව හේතුවෙන් අද දිනයේ ද ජපානයේ තෝකියෝ සහ ඉවතේ ප්‍රදේශ පුරා අධික වර්ෂාපතනයක් වාර්තා වනු ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟ වූ නමුත් පසුව එය ලිහිල් කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් ජපාන කාලගුණ විද්‍යා බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් ගංවතුර සහ නාය යෑම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි. ඉවතේ, මියාගි, ෆුකුෂිමා, ඉබරකි, ටොචිගි, ගුන්මා, සයිතමා, චිබා, තෝකියෝ, කනගවා, නිගාතා, යමනෂි, නගානෝ සහ ෂිසුවෝකා ප්‍රදේශවල දිවිගෙවන මිලියන 3 කට ආසන්න ජනතාවට ඉවත්වන ලෙස ද ජපාන බලධාරීන් මීට පෙර නියෝග කර තිබුණි. සුළි කුණාටුව හේතුවෙන් චිකුමා නදිය මෙන්ම තෝකියෝ අගනුවර හරහා ගලායන තමා ගංගාව ද පිටාර ගලා ඇත. අද පෙරවරුවේ තෝකියෝවේ උමං දුම්රිය සේවා මෙන්ම තෝහොකු, හොකුරිකු මොරිඕකා, අකිතා ඇතුළු ප්‍රදේශ රැසක දුම්රිය සේවා රැසක් අවලංගු කිරීමට ජපාන බලධාරීන් පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් තෝකියෝවේ හනේදා සහ චිබා හි නරිතා ගුවන්තොටුපොළේ දහසකට අධික සියලු ගුවන් ගමන්වාර අවලංගු කර ඇත. ආරක්ෂිත හේතු මත රග්බි ලෝක කුසලාන තරගාවාලියේ පැවැත්වීමට නියමිත වූ තරග දෙකක් ද අවලංගු කෙරුණු අතර එම තරගාවලියේ මෙවැනි සිදුවීමක් වාර්තා වූයේ 32 වසරක තරග ඉතිහාසයේ ප්‍රථම වරටයි. හගිබිස් සුළි කුණාටුව 1958 ජපානයේ පුද්ගලයන් 1200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් කළ කනොගවා සුළි කුණාටුවට සමාන බව ජපාන බලධාරීන් සඳහන් කළහ.