සමාජ මාධ්‍ය හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක්

ලොතරැයි දිනුම් පෙන්නා සමාජ මාධ්‍ය හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක්

by Staff writer 13-10-2019 | 1:39 PM

COLOMBO ( News 1st ) - සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා මහජනතාව රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ කාලයක් ඇසුරු කර හිතවත් වී පුද්ගලයින්ගේ විශ්වාසය ගොඩනගා ගැනීමෙන් අනතුරුව වංචනිකව මුදල් ලබා ගන්නා බව ය. විවිධ රටවල ලොතරැයි දිනුම් ඇදීම හෝ ත්‍යාග ජයග්‍රහණය කර ඇති බව සහ ඉහළ වටිනාකමක් ඇති භාණ්ඩ ඔවුන්ගේ නමින් රේගුවට යොමු කර ඇතැයි පවසා සැකකරුවන් මුදල් වංචාවේ නිරත වී ඇත. ඊට අමතරව රාජ්‍ය නොවන සංවිධානවලින් විසින් තෝරාගත් පිරිසකට ද්‍රව්‍යමය හා මුදල් ආධාර දීම මෙන්ම විදේශ කාන්තාවන් බව හගවමින් ඔවුන් සතු මුදල් මෙරට ආයෝජනය කිරීමට සහාය ඉල්ලීම මගින් ද සැකකරුවන් අදාළ ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ. අනතුරුව එවැනි ත්‍යාග හා මුදල් ලබා ගැනීමට මූලික මුදලක් අවශ්‍ය බව පවසමින් සැකකරුවන් ඔවුන්ගේ ගිණුම්වලට ජනතාවගේ මුදල් බැර කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. එවැනි මුදල් හෝ ත්‍යාග ලබා ගැනීම සඳහා මුදල් තැන්පත් කරන්නේ නම් වගකිව යුතු ආයතනයකින් විමසා එය සිදු කරන්නැයි ද පොලීසිය ජනතාවට දැනුම් දෙයි.