ඉන්දියාවේ නවදිල්ලි රසායනාගාරය තාවකාලික තහනමකට

ඉන්දියාවේ නවදිල්ලි රසායනාගාරය තාවකාලික තහනමකට

by Staff writer 13-10-2019 | 6:07 PM

News 1st - තහනම් උත්තේජක චෝදනා ලැබූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දෙනෙකුගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කළ ඉන්දියාවේ නවදිල්ලි රසායනාගාරය, ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය විසින් තාවකාලිකව තහනම් කර තිබේ.‍

මෙලෙස තහනම් කිරීමට හේතු වී ඇත්තේ රසායානාගාරයක් පවත්වා ගත යුතු ප්‍රමිතීන් හා යාවත්කාලීන කිරීම් ආදිය නිසි පරිදි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් ය. ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය හෙවත් වාඩා ආයතනය ගෙන ඇති මෙම තීරණය අනුව පසුගිය අගෝස්තු මස 20 වැනිදා සිට මාස 6ක ඉදිරි කාලයක් නවදිල්ලි රසායානාගාරයේ කටයුතු අත්හිටුවා තිබේ. අදාළ ප්‍රමිතීන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා එම රසායානාගාරය වෙත උපදෙස් ලබා දී ඇති බවද සඳහන් වේ. මෙවැනි පසුබිමක එම රසායනාගාරයෙන් ලද වෛද්‍ය වාර්තා අනුව මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක සංඝටක අඩංගු යැයි වාරණයට ලක්ව සිටින අවසන් ක්‍රීඩකයා වන්නේ මීටර් 400 ඉසව්වේ හිටපු ජාතික ශූර කාලිංග කුමාර ය. ඔහු මේ වන විට අදාළ තීන්දුව යළි සලකා බලන ලෙස ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද වාර්තා වේ. ඉන්දියාව හැරුණු කොට ආසියාව තුළ මෙවැනි රසායනාගර ඇත්තේ තායිලන්තය, කොරියාව, ජපානය, චීනය, කසකස්ථානය සහ කටාර් රාජ්‍යයේ ය. මෙරට තහනම් උත්තේජක චෝදනා ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂාව සඳහා යොමු කෙරෙන්නේ ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි රසායනාගාරය වෙතටයි.