ඇල්පිටියේ සභික ලයිස්තු ලබා දෙන්නැයි දැනුම් දීමක්

ඇල්පිටියේ සභික ලයිස්තු ලබා දෙන්නැයි මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්...

by Staff writer 13-10-2019 | 7:27 AM

COLOMBO (News 1st) - ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නම් කරන සභිකයින්ගේ ලැයිස්තු භාර දෙන්නැයි මැතිවරණයට තරග කර සභික ධුර හිමිකර ගත් දේශපාලන පක්ෂවලට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජය නොලැබූ පක්ෂවලින් එලෙස සභිකයින්ගේ නම් පත් කිරීමට ඉල්ලා ඇති බවයි. ඒ අනුව අදාළ දේශපාලන පක්ෂ විසින් තේරිම්භාර නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළ අතිරේක ලැයිස්තුවෙන් එම සභිකයින්ගේ නම් තෝරා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන බව ද සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය. ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ අතර ඒ අනුව ඔවුන්ට හිමි වූ සභික සංඛ්‍යාව 17 කි. එම සභිකයින් සියලු දෙනාම මහජන ඡන්දයෙන් පත්වන බව මැතිවරණ කොමිසම පැවසීය. එහෙත් එක්සත් ජාතික පක්ෂ පක්ෂය ලබාගත් සභිකධුර 7, එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් සභික ධුර 3 සහ ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් සභිකධුර දෙක වෙනුවෙන් සභිකයින් නම් කළ යුතු වන්නේ ඔවුන්ගේ අතිරේක ලැයිස්තුවලින් බව ද මැතිවරණ කොමිසම පැවසුවේ ය. ඒ අනුව අදාළ සභිකයින් නම් කර එවීමෙන් පසු ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභිකයින් සියල්ල එකවර ගැසට් කිරීමට නියමිතයි. මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයාගේ නම් කර එවන්නැයි මැතිවරණය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමග සාකච්ඡා කර ඒ සඳහා සුදුස්සන් නම් කරන බවයි.