සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් 328ක් මරුට‍

වසර 2ක් තුළ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් 328ක් මරුට

by Staff writer 12-10-2019 | 8:05 PM

COLOMBO ( News 1st ) - ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් 328ක් ගෙවුණු වසර දෙක තුළදී මරණයට පත්ව තිබේ.

මෙම කරුණු හෙළි වී තිබෙන්නේ සත්වෝද්‍යාන සංවර්ධන හා සුබසාධන අරමුදල සත්ත්ව සුබසාධනය සඳහා උපයෝගී කර ගන්නා ආකාරය පිළිබඳ ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයකදී ය. ඒ අනුව 2016, 2017 වසර දෙක තුළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් 328ක් මිය යාමට රෝගාබාධ, එක් ස්ථානයකින් තවත් ස්ථානයකට මාරු කිරීමේදී පශු වෛද්‍ය උපදෙස් අනුව කටයතු නොකිරීම, අලි ඇතුන්ට අඛණ්ඩව ප්‍රතිකාර නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් හේතු වී තිබේ. පින්නවල අලි අනාථාගාරයේ උසාවි නියෝග මත රඳවා සිටින අලි ඇතුන් 18දෙනා හේතුවෙන් සත්ත්ව හා සේවක සුබසාධක ගැටලුවක් ද පැන නැගී ඇතැයි විමර්ශනයේදී අනාවරණය විය. මෙහිදී හෙළි වී තිබෙන්නේ සතුන්ට ප්‍රතිකාර කිරීමට නිසි රදවනයක් නොමැති වීමෙන් සේවකයින් අනතුරට ලක්වීමේ අවදානමක් ද පවතින බව ය. 2016, 2017 වර්ෂවලදී දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිට වෙනත් සත්ත්ව උද්‍යානවලට සතුන් 29 දෙනෙක් මාරු කීරිමේදී ලෝක සත්ත්ව හා මින් මැදුරු පිළිබඳ සංවිධානය නිකුත් කර ඇති ආචාර ධර්ම නොසලකා ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි. විමර්ශනයේදී හෙළිව ඇත්තේ හම්බන්තොට සෆාරි උද්‍යානයේ හම්බාවන් දෙදෙනෙකු දෙහිවල සත්ත්ව උද්‍යානයට ගෙනවිත් දමා තිබෙන අතර මාස 2ක් තුළ ඔවුන් දෙදෙනාම මිය ගොස් ඇති බව ය. රයිනෝසිරස් සත්ත්වයින්ගේ මළපහ ඔවුන්ගේ ආහාර සමග මිශ්‍ර වීමෙන් මාරාන්තික රෝගී තත්ත්වයකට අදාළ සත්ත්වයා ගොදුරු වී ඇති බව ද හෙළි වී ඇත. ජාත්‍යන්තර ආචාර ධර්ම කඩ කරමින් දිරාපත් වූ කූඩු තුළ සතුන් රැඳවීම නිසා අවස්ථා තුනකදී සතුන් අස්ථානගත වීම ද, අවස්ථා 5කදී වෙනත් සතුන් විසින් ප්‍රදර්ශනය කරන සතුන් කා දැමීම ද, අවස්ථා 6දී සතුන්ට තුවාල වීම් ද වාර්තා වී තිබේ.