ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට

by Staff writer 12-10-2019 | 8:54 PM

COLOMBO ( News 1st ) - දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව ජාතික ඩෙංගු රෝග මර්ධන ඒකකය සඳහන් කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් දිවයිනේ වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 72ක් වන අතර ඉන් බහුතරය වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ය. ඒ අනුව දිවයිනේ වාර්තා වන මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 52000කට අධික ය. පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තියේ වර්ධනයක් ඇති වීමේ අවදානමක් ඇති බව ජාතික ඩෙංගු රෝග මර්ධන ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය. දිවයිනේ වැඩිම ඩෙංගු රෝග ව්‍යාප්තියක් වාර්තා වන්නේ, බස්නාහිර පළාත තුළ ය. ඩෙංගු රෝගය හේතුවෙන් සිදු වූ මරණ දෙකක් අදත් මහනුවර සහ මඩකලපුව ප්‍රදේශවලින් වාර්තා විය. මේ අතර මාතලේ දෙමටගහවත්ත ප්‍රදේශයේ ඩෙංගු රෝගය වැළඳී කුඩා දරුවෙකු මරණයට පත් විය. මෙලෙස මිය ගොස් ඇත්තේ, යෝගරාජා සංජය නම් වයස අවුරුදු 11ක පිරිමි දරුවෙකි. මේ අතර ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් එළැඹෙන මාසයේදී විශේෂ ජාතික ඩෙංගු මර්ධන සතියක් නම් කිරීමට නියමිත ය.