ගිනිඅවි සමග LTTE හිටපු සාමාජිකයෙකු අත්අඩංගුවට

ගිනිඅවි, උණ්ඩ හා අත්බෝම්බ සමග LTTE හිටපු සාමාජිකයෙකු සේරුනුවරදී අත්අඩංගුවට

by Staff writer 12-10-2019 | 10:07 PM

COLOMBO ( News 1st) - ටී 56 ගිනිඅවි 2ක් සහ උණ්ඩ තොගයක් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු සේරුනුවර කිලිවෙඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සේරුනුවර යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව ය. පසුව ඔහු සේරුනුවර පොලීසියට භාර දීමෙන් පසු කිලිනොච්චියේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී උණ්ඩ ඇතුළු යුද උපකරණ සොයා ගෙන ඇත. විවිධ වර්ගයේ අත්බෝම්බ 5ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 62ක්, මිලිමීටර් 7 වර්ගයේ උණ්ඩ 9ක්, ටී 56 උණ්ඩ 154ක් හා ඩෙටනේටර් 62ක් ද මෙහිදී සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සීෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක්, එම්.ජී.එම්. සජීව උණ්ඩ 5ක්, දුරදක්නයක්, ඩෙට් කෝඩ් 2ක් මෙන්ම පිහි ඇතුළු උපකරණ ද සොයා ගත් බව ය. සැකකරුගේ බිරිඳ හා සහෝදරියක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දී තිබේ. 36 හැවිරිදි සැකකරු කිලිනෝච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ නිවසේ තිබී ප්‍රභාකරන්ගේ ඡායාරූප සහිත ටී-ෂර්ට් 4ක් ද සොයා ගෙන තිබේ.