ගෝඨාට එරෙහි නඩුවට පැනවූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවට පැනවූ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ

by Staff writer 11-10-2019 | 2:43 PM
COLOMBO (News 1st) - ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය වළක්වමින් පනවා තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් මස 20 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. හම්බන්තොට මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නඩුව ගොනු කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් අද බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබී ය. කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන සාක්ෂි විභාගය අත්හිටුවමින් දැනට පනවා තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් 20 වන දා දක්වා දීර්ඝ කිරීමට එහිදී නියෝග කෙරිණි.