පකිස්ථානයේදී ලංකාවට 20යි20 පූර්ණ තරගාවලි ජයක්

පකිස්ථානයේදී ශ්‍රී ලංකාවට 20 යි 20 පූර්ණ තරගාවලි ජයක්

by Staff writer 10-10-2019 | 6:10 AM
COLOMBO (News 1st) : පකිස්ථානය සමඟ පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ වැඩි ගෞරව දිනා ගනිමින් තරග 3ට 0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති තුන් වැනි සහ අවසන් 20 යි 20 තරගය ලකුණු 13 කින් ජය ගනිමිනි. තරගයේ කාසියේ වාසිය දිනු, ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඒ අනුව ධනුෂ්ක ගුණතිලක සහ සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළහ. පළමු කඩුල්ල ලෙස ගුණතිලක ලකුණු 8 කට දැවී ගිය අතර සමරවික්‍රමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 12 ක් පමණි. සිය මංගල පන්දුවාර 20යි 20 තරගයට එක් වූ ඕෂධ ප්‍රනාන්දු 4 පහර 8ක් සහ 6 පහර 3ක් සමග පන්දු 48කදී වේගවත් ලකුණු 78ක් රැස් කළේ ය. නායක දසුන් ශානක ලකුණු 12 ක් රැස් කළ අතර මොහොමඩ් අමීර් ලකුණු 27ට කඩුලු 3ක් දවා ගත්තේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු  සංඛ්‍යාව 47 කි. පකිස්ථාන පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ, කිසිදු ලකුණක් රැස් කිරීමට පෙරදීයි. අනතුරුව පිටියේ ස්ථාවර වූ බාබර් අසාම් සහ හාරිස් සොහේල් දෙවැනි කඩුල්ලට ලකුණු 76ක සබඳතාවක් ගොඩනැගී ය. අසාම් ලකුණු 27ක් රැස් කළ අතර සොහේල් ලකුණු 52යි. අනතුරුව ලකුණු 35ක් තුළ පකිස්තාන කඩුලු 4ක් බිඳ වැටිණ. නායක සෆ්‍රාස් අහමඩ් ලකුණු 17ක් රැස් කළේ ය. වනිදු හසරංග ලකුණු 21ට කඩුලු 3ක් දවා ගත් අතර ලහිරු කුමාර ලකුණු 24ට කඩුලු 2ක් දවා ගත්හ. පන්දුවාර 20 අවසානයේදී පකිස්ථාන කණ්ඩායමට කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 134ක් පමණි. ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලියේ සියලු තරග ජය ගනිමින් පන්දුවාර 20යි 20 ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමු‍‍ණේ පසුවන පකිස්ථානය පරාජය කිරීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. වනිදු හසරංග තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා බවට පත්විය. 2009 වසරෙන් අනතුරුව දීර්ඝතම ක්‍රිකට් තරගාවලිය සඳහා පකිස්තානයේ සංචාරයක නිරත වූ පළමු කණ්ඩායම වන ශ්‍රී ලංකාව ඉතිහාසයට එක් වූයේ පාකිස්ථානය එරට දී ම 20යි 20 තරගාවලියකින් පරාජයට පත් කළ පළමු කණ්ඩායම ලෙසයි.