තුර්කිය උතුරු දිග සිරියාවේ හමුදා මෙහෙයුමක් අරඹයි

තුර්කිය උතුරු දිග සිරියාවේ හමුදා මෙහෙයුමක් අරඹයි

by Staff writer 10-10-2019 | 7:45 AM

News 1st - තුර්කිය උතුරු දිග සිරියාවේ පාබල හමුදා මෙහෙයුමක් අරඹා තිබේ.

තුර්කිය මෙලෙස පාබල මෙහෙයුමක් අරඹා තිබෙන්නේ, කුර්දි සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින එම ප්‍රදේශයට යුද ගුවන්යානා සහ කාලතුවක්කු යොදා ගනිමින් ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුවයි. කුර්දි සටන්කාමීන්ගෙන් තොර සිරියානු සරණාගතයන්ට ද ආරක්ෂිතව දිවි ගෙවිය හැකි ආරක්ෂිත කලාපයක් නිර්මාණය කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බව තුර්කි ජනාධිපති රිසෙප් තයීප් අර්ඩොගන් සඳහන් කළේ ය. කෙසේ වෙතත් තුර්කියේ මෙම තීරණය ලොව රටවල් රැසකගේ දැඩි විවේචනයට ලක් වූ අතර යුරෝපා සංගමය තුර්කියෙන් ඉල්ලා සිටියේ එය අවසන් කරන ලෙසයි. අමෙරිකාවට සහය ලබාදුන් කුර්දි සටන්කාමීන් මෙම ප්‍රහාරයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ප්‍රතිඥා දුන්හ. තුර්කිය මෙම හමුදා මෙහෙයුම ඇරඹුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම ප්‍රදේශයෙන් සිය සෙබළුන් ඉවත්කර ගැනීමට පියවර ගැනීමෙන් පසුවයි. අමෙරිකාවට අයි. එස් ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සහය දුන් කුර්දි සටන්කාමීන් තුර්කිය හමුවේ එවැනි අනතුරකට හෙලීමට ජනපති ට්‍රම්ප් ගත් පියවර අමෙරිකාවේ සහ විදෙස් රටවල දැඩි විවේචනයට ලක්විය. මෙම මෙහෙයුම හමුවේ සිය අත්අඩංගුවේ සිටින අයි. එස් ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දහස් ගණනකට රැකවල් සැපයීමට කුර්දි සටන්කාමීන් අපොහොසත් වනු ඇති බවට ද මත පළවේ. මෙම මෙහෙයුමෙන් මැදපෙරදිග කලාපය යළි අස්ථාවරවීමටත්, අයි. එස් ත්‍රස්තවාදීන්ට එරෙහිව ලැබූ ප්‍රගතිය හීන කිරීමටත් හේතුවනු ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් අනතුරු ඇඟවූවේ ය.