ජම්මු - කාශ්මීරය සංචාරකයින්ට යළි විවෘතයි

ජම්මු - කාශ්මීරය සංචාරකයින්ට යළි විවෘතයි

by Staff writer 10-10-2019 | 1:14 PM
COLOMBO (News 1st) : ජම්මු - කාශ්මීරය සංචාරකයන් සඳහා අද යළි විවෘත කෙරිණ. ඒ, එම ප්‍රදේශයට සංචාරකයින් ඇතුළු වීම තහනම් කර දෙමසකට පසුවයි. සංචාරක කර්මාන්තය, ජම්මු කාශ්මීර ආර්ථිකයේ කොඳුඇටපෙළ ලෙස සැළකෙයි. මධ්‍යම රජය අනපේක්ෂිත ලෙස සංචාරකයින් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමෙන් පසු කලාපයේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය. ත්‍රස්ත අවදානමක් පවතින බව පවසමින් ඉන්දීය රජය එම ප්‍රදේශයෙන් සංචාරකයන් ඉවත් කළේ, ජම්මු කාශ්මීරයට ව්‍යවස්ථාවෙන් ලබාදුන් විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමට පෙරයි. අනතුරුව ජම්මු කාශ්මීරයේ දේශපාලනඥයන් රැසක් අත්අඩංගුවට ගෙන, සන්නිවේදන ක්‍රමවේද අවහිර කර, දැඩි රැකවල් පැනවීමට ද ඉන්දීය රජය පියවර ගත්තේ ය. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අත්අඩංගුවේ සිටි දේශපාලනඥයන් තිදෙනෙකු අද නිදහස් කිරීමට ජම්මු කාශ්මීර පරිපාලනය තීරණය කර ඇති බවයි. මේ අනුව අද නිදහස් කෙරෙන්නේ යවාර් මීර් , නූර් මොහොමඩ් සහ ශොයිබ් ලෝන් යන දේශපාලනඥයින් තිදෙනායි.