හබරණ අලි මරණවල සුලමුල හෙළි වෙයි

හබරණ අලි මරණවල සුලමුල හෙළි වෙයි

by Staff writer 09-10-2019 | 11:51 AM
COLOMBO (News 1st) - හබරණ දිගම්පතහ තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියෙකු මිය යාමට හේතුව විෂ රසායන ශරීර ගත වීම බව නිගමනය කර තිබේ. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, තමන් විසින් පත් කළ කමිටුවේ වාර්තාව මේ වන විට ලැබී ඇති බව ය. විෂ ශරීර ගත වීමෙන් මෙම මරණ සිදුව ඇති බව එම කමිටුව සිය පරීක්ෂණවලින් තහවුරු කර තිබේ. එහෙත් ශරීර ගත වී ඇති එම විෂ රසායනික ද්‍රව්‍ය කුමක් ද යන්න තහවුරු කර ගැනීමට මේ වන විටත් රජයේ රස පරීක්ෂකවරයා මගින් විමර්ශන ක්‍රියාත්මක බව ද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා සත්ත්ව කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට සහ පශු පර්යේෂණ ආයතනයට ද යොමු කළ බව ය. මේ අතර මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සිදු කෙරෙන පරීක්ෂණයේ වාර්තාව කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව ය. එම විමර්ශන සඳහා නිලධාරීන් 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ක්‍රියාත්මක බව ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.