ශ්‍රී ලංකා - පකිස්ථාන 3 වන 20යි 20 තරගය අද

ශ්‍රී ලංකා - පකිස්ථාන 3 වන 20යි 20 තරගය අද

by Staff writer 09-10-2019 | 10:36 AM
COLOMBO (News 1st) - තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - පකිස්ථාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 3 වන හා අවසන් තරගය අද පැවැත්වේ. තරගාවලියේ මේ වන විටත් ජය තහවුරු කර ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 64කින් ජය ගත් අතර දෙවැනි තරගය ලකුණු 35කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය. දෙරට අතර 3 වන 20යි 20 තරගය පැවැත්වෙන්නේ ද ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ය. දෙරට අතර පැවැති පළමු තරග දෙක ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විටත් තරගාවලිය ජය ගෙන ඇති බැවින් තරගාවලි ජය පූර්ණ තරගාවලි ජයක් බවට පත් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසේ. පන්දුවාර 20යි 20 තරග ඉතිහාසයේදී ශ්‍රී ලංකාව මෙතෙක් කිසිදු තරගාවලියක් තරග 3ට 0ක් ලෙස ජය ගෙන නොමැත. එමෙන්ම පකිස්ථානය ද 20යි 20 තරග ඉතිහාසයේදී තරග 0ට 3ක් ලෙස කිසිදු තරගාවලියක් මෙතෙක් පරාජයට පත්ව නොතිබීම විශේෂත්වයකි. ඒ අනුව නවක කණ්ඩායමක් වන ශ්‍රී ලංකාව හමුවේ එවැනි ඓතිහාසික තරගාවලි පරාජයක් ලැබීමේ අවමානයෙන් ගැලවීමේ අරමුණින් පකිස්ථානය අද තරග බිමට පිවිසෙනු ඇති. 2007 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අන්තර්ජාතික 20යි 20 ක්‍රිකට් තරග 20 කට ක්‍රීඩා කර ඇති අතර එයින් තරග 13ක් පකිස්ථානය ජය ගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති තරග ගණන 7කි. අද තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදු නොවනු ඇති බවට වාර්තා වන අතර, පකිස්ථාන කණ්ඩායමේ යම් වෙනස්කම් කිහිපයක් සිදු විය හැකි බව සඳහන් ය. පකිස්ථානයේදී 20යි 20 ක්‍රිකට් තරගාවලියක් තුළ ශ්‍රී ලංකාව හා පකිස්ථානය උරෙනුර ගැටෙන පළමු අවස්ථාව ද මෙයයි. අද තරගය පැවැත්වෙන ගඩාෆි ක්‍රීඩාංගණයේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ණානු කණ්ඩායම අතර 20යි 20 තරග 3ක් පවත්වා ඇති අතර එම තරග තුනම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන තිබේ. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිත ය.