සජිත් විපක්ෂයට පිළිතුරු දෙයි

සජිත් විපක්ෂයට පිළිතුරු දෙයි

by Staff writer 08-10-2019 | 6:35 PM
COLOMBO (News 1st) - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණියේ ය. ඒ, ආගමික නායකයින් හමුවී ජනාධිපතිවරණය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට ය. මහනුවරට ගිය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පළමුව දළදා සමිඳුන් වැඳපුදා ගත්තේ ය. අනතුරුව මහනුවර නාථ දේවාලය අභියස සකස් කළ විශේෂ පීඨිකාවකදී මහ සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද කළේ ය. පසුව සජිත් ප්‍රේමදාස මහතා මල්වතු මහා විහාරයට පැමිණ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අස්ගිරි මහා විහාරයට ගොස් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුව ය. මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනට ගිය සජිත් ප්‍රේමදාස මහතා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. පසුව ඔහු මහනුවර පොත්තුගල් විහාරයට පැමිණි අතර උඩරට අමරපුර මහා නිකායේ වැඩබලන මහා නායක පොත්ගුල් විහාරාධිපති අතිපූජ්‍ය යටිනුවර සුමන නාහිමි බැහැදැක සුහද කතාබහක නිරිත විය. මහනුවර මීරා මක්කම් මුස්ලිම් දේවස්ථානය, කටුකැලේ සෙල්ල විනායගර් කෝවිල ඇතුළු ආගමික සිද්ධස්ථාන කිහිපයකට ද අද පස්වරුවේ සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ ආගමික නායකයින් හමුවී ආශිර්වාද ලබා ගැනීමට ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ කටුගස්තොට පිහිටි රදගුරු නිල නිවසේදී මහනුවර රදගරු අතිඋතුම් වියානි ප්‍රනාන්දු හිමිපාණන් ද හමුවී ජනාධිපතිවරණය වෙනුවෙන් ආශිර්වාද ලබා ගත්තේ ය.