මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිංගප්පූරුවෙන් ප්‍රතිචාර

මහේන්ද්‍රන් මෙරටට එවන්නැයි කළ ඉල්ලීමට සිංගප්පූරුවෙන් ප්‍රතිචාර

by Staff writer 08-10-2019 | 3:53 PM
COLOMBO (News 1st) - බැඳුම්කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට උදර්පනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී, රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ, අර්ජුන මහේන්ද්‍රන් නමැත්තා මෙරටට පිටුවහල් කිරීමට අදාළ සියලු ලිපි ලේඛන ලැබී ඇති බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදු වන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා චෝදනා ලැබ සිටී. සැකකාර මහේන්ද්‍රන් මහතා මෙරටට උදර්පනය කරන්නැයි ඉල්ලමින් පිටු 21,000 කින් පමණ සමන්විත ගොනු ඇතුළත් නීතිමය ලේඛන නීතිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පසුගියදා යොමු කරනු ලැබී ය.