පකිස්ථානයට එරෙහි 20යි20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

පකිස්ථානයට එරෙහි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

by Staff writer 08-10-2019 | 8:18 AM
COLOMBO (News 1st) : ඉතිහාසයේ පළමු වරට පකිස්ථානයට එරෙහිව, පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියක ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ ලොව අංක එකේ 20යි 20 කණ්ඩායම වන පාකිස්ථානයට එරෙහිව පැවති දෙවැනි තරගය ලකුණූ 35 කින් ජය ගනිමිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත වූයේ පාකිස්ථානය එරට දී ම 20යි 20 තරගාවලියකින් පරාජයට පත් කළ පළමු කණ්ඩායම ලෙසයි. ආරක්ෂක හේතුන් මත ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහභාගි නොවූ නවක ක්‍රීඩකයින් පිරිසක් සහිත ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානය සමග දෙවැනි 20යි 20 තරගයට සහභාගී වූයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදීයී. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගත් ලකුණූ සංඛයාව 182 කි. ධනුශ්ක ගුණතිලක ලකුණූ 15 කට දැවී ගිය අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණූ 8 කට දැවී ගියහ. අනතුරුව පිටියේ ස්ථාවර වූ භානුක රාජපක්ෂ සහා ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ඉණිමේ තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණූ 94 කි. එම සබඳතාව වාර්තා අතරට එක්වූයේ පාකිස්ථානයට එරෙහිව 20යි 20 තරගයකදී තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාව ලෙසයි. ශෙහාන් ජයසූරිය ලකුණු 34 ක් රැස් කළ අතර සිය මංගල 20යි 20 අර්ධ ශතකය වාර්තා කළ භාණුක රාජපක්ෂ පන්දු 48 කදී ලකුණු 77 ක් රැස් කළේ, හතරේ පහර 4 ක් හා හයේ පහර 6 ක් සමගිනි. දසුන් ශානක නොදැවී ලකුණූ 27 ක් රැස් කළේ ය. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පාකිස්ථාන ක්‍රීඩකයින්ට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 147 ක් පමණි. අහමඩ් ශෙසාඩ් ලකුණූ 13 ක් රැස් කළ අතර නායක සෆ්රාස් අහමඩ් ලකුණූ 26 ක් රැස් කළහ. උමාර් අක්මාල් මෙම තරගයේදී ද තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණූ නොලබා දැවී ගියේ මෙතෙක් ජාත්‍යන්තර 20 යි 20 තරගවලදී වැඩිම වාර ගණනක් ලකුණූ නොලබා දැවී ගිය පිතිකරු ලෙස ඉතිහාස ගත වී සිටි තිලකරත්න ඩිල්ෂාන්ගේ වාර්තාව ද සම කරමිනි. ඩිල්ශාන් අවස්ථා 10කදී ලකුණු නොලබා දැවී ගොස් තිබුණ අතර මේ වන විට උමාර් අක්මාල් ද ලකුණු නොලබා දැවී ගොස් ඇති ඉනිම් සංඛ්‍යාව 10කි. කෙසේ වෙතත් වැඩිම ඉනිම් සංඛ්‍යාවක දී පළමු පන්දුවෙන්ම දැවී ගිය පිතිකරු ලෙස වාර්තා අතරට එක්ව ඇත්තේ උමාර් අක්මාල් ය. 20යි 20 ඉනිම් හයකදී ඔහු මේ වන විට පළමු පන්දුවෙන්ම දැවී ගොස් තිබේ. අසීෆ් අලී ලකුණු 29 ක් රැස් කළ අතර ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඉමාඩ් වසීම් ලකුණූ 47 ක් රැස් කළහ. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් ලකුනූ 25 ට කඩුලු 4 ක් දවා ගත් අතර ඉසුරු උදාන කඩුලු 2 ක් සහා වනිදු හසරංග පන්දු 4 ක් තුළ කඩුලු 3 ක් දවා ගැනීම විශේෂත්වයකි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලකුණූ 35 ක ජයක් හිමිවූ අතර මෙවර තරගාවලියේ පළමු තරග දෙකේ දී ම පාකිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. 20 යි 20 තරගාවලියකදී එලෙස අඛණ්ඩව තරග දෙකකදී පාකිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් දැවී ගිය පළමු අවස්ථාව මෙයයි. තරගයේ වීරයා සම්මානය භානුක රාජපක්ෂට හිමිවිය.