මුරලිගේ වාර්තාවක් රවිචන්ද්‍රන් අශ්වින් සමකරයි

මුරලිගේ වාර්තාවක් සමකිරීමට රවිචන්ද්‍රන් අශ්වින් සමත් වෙයි

by Staff writer 07-10-2019 | 6:28 PM

News 1st - අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 350 ක් දවාගත් ශ්‍රී ලංකා සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තබා තිබූ වාර්තාවට සමකිරීමට ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සමත්ව තිබේ.

ඒ, දකුණු අප්‍රිකාව සමග නිමාවට පත් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේදීයි. ටෙස්ට් තරග 66 කින් මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 350 ක් දවා ගෙන තිබුණි. ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ඊයේ දිනයේදී එම කඩයිමට ළඟා වූයේ ටෙස්ට් තරග 66 කදීවීම විශේෂත්වයකි. එහිදී ඔහු සිය 350 වන කඩුල්ල ලෙස දවා ගැනීමට සමත් වුණේ දකුණු අප්‍රිකා ක්‍රීඩක දියුනීස් ඩී බෘන්. මෙය කඩුලු 350 සීමාව සඳහා ළඟා වීමට පන්දු යවන්නෙකු වැය කළ අවම තරග ප‍්‍රමාණය සමකිරීමක් ද වේ. මුත්තයියා මුරලිදරන් සිය 66 වැනි ටෙස්ට් තරගයේදී 350 වැනි කඩුල්ල දවා ගැනීමට පෙර එහි ලෝක වාර්තාව ශ්‍රීමත් හැඩ්ලි සතු වූ අතර 350 වැනි කඩුල්ල දවා ගැනීමට ශ්‍රීමත් රිචඩ් හැඩ්ලිට තරග 69 ක් ක්‍රීඩා කර තිබුණි. 2001දී බංග්ලාදේශයට එරෙහිව තරග කරමින් 350 වැනි කඩුල්ල දවාගත් මුරලිදරන් ශ්‍රීමත් හැඩ්ලිගේ වාර්තාව තමන් සතුකර ගත්තේ ය. මුරලිදරන්ගේ වාර්තාව සමකළ අශ්වින් 2017 සිට ක්‍රීඩා කරන්නේ ටෙස්ට් තරග සඳහා පමණි. කෙසේ වෙතත් කඩුලු 350 දවා ගැනීම සඳහා අවම ඉනිම් සංඛ්‍යාවක් ක‍්‍රීඩා කර ඇත්තේ මුත්තයියා මුරලිදරන් ය. ඔහු ඉනිම් 106 කින් එම කඩඉමට ළඟා වී ඇති අතර අශ්වින් ඒ සඳහා ඉනිම් 124 ක් ක‍්‍රීඩා කර තිබේ.