Update :අපේක්ෂකයින් 35ක් ජනපතිවරණ සටනේ..

Update : ජනපතිවරණයට අපේක්ෂකයෝ 35ක් නාම යෝජනා භාරදෙති

by Staff writer 07-10-2019 | 6:24 AM
COLOMBO (News 1st) : මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 35 දෙනෙක් අද නාම යෝජනා භාර දුන්හ. ඒ, පිළිගත් දේශපාලන පක්ෂ 18 කින්, වෙනත් දේශපාලන පක්ෂ 2 කින් සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ලෙසයි. 2019 සඳහා නාම යෝජනා භාරගැනීම අවසන් වූයේ පෙරවරු 11.00ටයි. අද පෙරවරු 9.00 සිට එම කටයුතු සිදුවූයේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන් විසින් අද පෙරවරුවේ සිදුකරනු ලැබුවේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදීයි. නාමයෝජනා භාරදෙන කාල සීමාවේ මැතිවරණ මහලේකම් කාර්යාලය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වු අතර, නාම යෝජනා භාර දෙන ශාලාවට ඇතුළුවීමට අවසර ලැබුණේ, අනුමත නියෝජිත සංඛ්‍යාවට පමණි. පක්ෂ නායකයින් හා මැති ඇමතිවරුන් ඇතුළු පාක්ෂිකයින්ට රැඳී සිටීමට වෙනම ස්ථාන වෙන් කර තිබිණ. කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සෙසු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර හා මහාචාර්යය රාජන් හුල් යන මහතවරුන් විසින්, ඇප තැන්පත් කොට තිබූ අපේක්ෂකයින්ගේ නාම යෝජනා භාරගනු ලැබී ය. උදෑසන 9 සිට 11 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදුවූ අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා භාර දුන්නේ ය. හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා නාම යෝජනා භාර දුන්නේ ජාතික ජනතා පක්ෂය නියෝජනය කරමිනි. ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා භාර දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බල ව්‍යාපාරය නමින් සිය නාමයෝජනා පත්‍රය භාර දුන්නේ ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නාම යෝජනා දෙනු ලැබුවේ දුමින්ද නාගමුව මහතායි. අජන්තා පෙරේරා මහත්මිය ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් ද, සිරිතුංග ජයසූරිය මහතා එක්සත් සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් ද, බැද්දෙගමගේ නන්දිමිත්‍ර මහතා නව සම සමාජ පක්ෂය වෙනුවෙන් බැද්දෙගමගේ නන්දිමිත්‍ර මහතාද නාම යෝජනා භාර දුන්නේ ය. සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන් වජිරපානි විජේසිරිවර්ධන මහතා ද, නව සිහල උරුමය වෙනුවෙන් සරත් මනමේන්ද්‍ර මහතා ද, ජාතික සංවර්ධන පෙරමුණ වෙනුවෙන් රොහාන් පල්ලෙවත්ත මහතාද නාම යෝජනා භාර දුන් අතර, ඒ.එස්.පී.ලියනගේ මහතා ශ්‍රී ලංකා කම්කරු පක්ෂය වෙනුවෙන් නාම යෝජනා භාර දුන්හ. පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙවරත් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දුන්නේ ජනසෙත පෙරමුණෙනි. ඔක්කොම වැසියෝ - ඔක්කොම රජවරු සංවිධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාම යෝජනා භාර දුන්නේ ප්‍රියන්ත මුණිහත් එදිරිසිංහ මහතායි. ස්වාධීන අපේක්ෂකයින් ලෙස ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, අනුරුද්ධ පොල්ගම්පොල, සමරවීර වීරවන්නි, අශෝක වඩිගමංගාව, රජිව විජේසිංහ, එම්.කේ.සිවාජිලිංගම්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් 2019 ජනාධිපතිවරණය සඳහා අද නාම යෝජනා භාර දුන් අය අතරට අයත් වෙති. පසුගිය දිනවල වැඩි කතා බහට ලක්වූ කුමාර වෙල්ගම හා චමල් රාජපක්ෂ යන මහත්වරුන් අද නාමයෝජනා භාර නොදීම විශේෂත්වයකි. නාම යොජනා භාරදීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කළේ ය. මේ අතර ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ අද ජනාධිපතිවරණය අවසන්වී සතියක් යන තෙක් පෙළපාළි තහනම් වන බවයි.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා තරගවදින අපේක්ෂකයින්ගේ ලැයිස්තුව මෙසේය,

01 - සමරවීර වීරවන්නි 02 - කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා 03 - සිරිතුංග ජයසූරිය 04 - බත්තරමුල්ලේ සීලරතන හිමි 05 - අජන්තා විජේසිංහ පෙරේරා 06 - සමන්තිරි හේරත් 07. ඒ.එස්.පී. ලියනගේ 08 - එම්.කේ. සිවාජිලිංගම් 09 - සමන් ප්‍රසන්න පෙරේරා 10- සිරිපාල අමරසිංහ 11 - බැද්දේ ගමගේ නන්දමිත්‍ර 12 - සරත් විජිතකුමාර කීර්තිරත්න 13 - අශෝක වඩිගමංගාව 14 - දුමින්ද නාගමුව 15 - අජන්ත ද සොයිසා 16 - චමින්ද අනුරුද්ධ 17 - මිල්රෝයි සර්ජියස් ප්‍රනාන්දු 18 - අහමඩ් හසන් මොහොමඩ් අලවි 19 - රොහාන් පල්ලේවත්ත 20 - නාමල් රාජපක්ෂ 21 - අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි 22 - වජිරපානි විජේසිරිවර්ධන 23 - අනුර කුමාර දිසානායක 24 - අරුණ ද සොයියා 25 - මහමුද් ලෙබ්බේ ආලිම් මුහම්මද් හිස්බුල්ලා 26 - ඉල්ලියාස් අයිද්රූස් මොහොමඩ් 27 - පියසිරි විජේනායක 28 - රජීව් විජේසිංහ 29 - සරත් මනමේන්ද්‍ර 30 - සුබ්‍රමනියම් ගුණරත්න 31 - සජිත් ප්‍රේමදාස 32 - මහේෂ් සේනානායක 33 - ගෝඨාභය රාජපක්ෂ 34 - ප්‍රියන්ත මුණිහත් එදිරිසිංහ 35 - ආරියවංශ දිසානායක
COLOMBO (News 1st) 11.00 AM : අද උදෑසන ආරම්භ වූ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් වී තිබේ. අද උදෑසන 9.00ට නාමයෝජනා භාර ගැනීම ආරම්භ වූයේ, රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදීයි. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා භාරදුන් අතර සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා භාරදෙනු ලැබුවේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි. මීට අමතරව ජාතික ජනබල ව්‍යාපාරයේ ජනපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ද , ජාතික ජනතා පක්ෂයෙන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදුන්හ. බත්තරමුල්ලේ සීලරතන හිමි ජනාධිපතිවරණය සඳහා නාය යෝජනා භාර දෙනු ලැබුවේ, ජන සෙත පෙරමුණ නියෝජනය කරමිනුයි. ----------------------------------------------------------------------------------------------------------------------------------------- COLOMBO (News 1st) : ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මේ වන විට ආරම්භ වී තිබේ.  -------------------------------------------------------------------------------------------------------------------------------------- COLOMBO (News 1st) : ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද සිදුකෙරෙයි. ඒ අනුව, අද උදෑසන 9 සිට උදෑසන 11 දක්වා පැය දෙකක කාලය තුළ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ශ්‍රී රත්නායක මහතා පැවසී ය. අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, පෙරවරු 11.30 දක්වා එම නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමටද ඉඩකඩ පවතින බවයි. මේ අතර ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේකෂකයින් නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී ඒ සමග වත්කම් හා බැරකම් ප්‍රකාශ ද භාර දිය යුතු බවයි. අද දිනයේදී විශේෂ කාරණා කිහිපයක් පිළිබඳව පොලිසියේ අවධානය යොමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසී ය. නීති විරෝධී පෝස්ටර් හා කටවුට් ඉවත් කරන ලෙස සියලු පොලිස්ථාන දැනුවත් කර ඇතැයිද ඔහු පැවසී ය. ආරක්ෂක හා සෝදිසි කිරීමේ රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 1200 ක් යොදවා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. ඔහු පැවසුවේ, මැතිවරණ කොමිසම පිහිටි සරණ මාවතට ඇතුළුවීම අවස්ථාව හිමිවන්නේ අවසර ලත් පුද්ගලයින්ට පමණක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති අතර ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපෙක්ෂකයින් පිරිසක් ඇප මුදල් තැන්පත්කළ අවස්ථාව මෙයයි. https://www.facebook.com/NewsfirstSL/videos/482385325675788/